DPL සමාගමේ Firstlight මගින් කුඩා රබර් වතු හිමියන් 1500 දෙනෙකුට පොහොර

DPL සමාගම සමඟ අඛණ්ඩව කටයුතු කරන රබර් කිරි ගොවි සමිති සාමාජිකයින්ගේ ජීවනෝපායන් අඛණ්ඩව සවිබල ගැන්වීමට සහ නඟා සිටුවීමට Dipped Products සමාගම එහි ප‍්‍රධාන තිරසාර වැඩසටහන වන DPL Firstlight  යටතේ මොණරාගල දිස්ත‍්‍රික්කයේ කුඩා රබර් වතු හිමියන් 1500 දෙනෙකුට පොහොර බෙදා දීම සඳහා රුපියල් මිලියන 2.1ක් වැය කර ඇතැයි පවසයි.

අඛණ්ඩව නව වන වරටත් පැවැත්වූ මෙම වැඩසටහන මඟින් මොණරාගල දිස්ත‍්‍රික්කය පුරා සිටින DPL සමාගම අනුබද්ධ රබර් කිරි ගොවි සමිති හතරක රබර් කිරි ගොවීන් අතර පොහොර කිලෝ ග‍්‍රෑම් 90,000ක් බෙදා දීම සිදුව තිබේ.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වන DPL සමාගමේ නියෝජ්‍ය කළමානාකාර අධ්‍යක්ෂක, පුෂ්පික ජනාධීර මහතා, ‘‘වසර 12කට වැඩි කාලයක් පුරාවට මොණරාගල දිස්ත‍්‍රික්කයේ කුඩා රබර් වතු හිමියන් නගා සිටුවීම සඳහා DPL Firstlight වැඩසටහන කටයුතු කර තිබෙනවා. ආරම්භයේ සිටම, ක්ෂේත‍්‍ර රබර් කිරි සඳහා සාධාරණ මිලක් සහතික කරන අතරම ජාතික රබර් නිෂ්පාදනයට වටිනාකම් එකතු කිරීමට හා ඔවුන් ලබා දුන් නොමසුරු දායකත්වය සඳහා අප සහයෝගය ලබා දුන්නා. මීට අමතරව, අත්‍යාවශ්‍ය කෘෂිකාර්මික සහාය හා උපකරණ සැපයීම තුළින් උපරිම අස්වැන්නක් ලබා ගැනීම සඳහා අප ඔවුන්ගේ හැකියාව වඩාත් ඵලදායී ලෙස සකස් කර තිබෙනවා.” යනුවෙන් පවසා සිටියි.

එසේම ඉදිරියේදී මෙම DPL Firstlight වැඩසටහන කෑගල්ල දිස්ත‍්‍රික්කයේ රබර් කිරි ගොවි සමිති ජාල සඳහා ද ව්‍යාප්ත කිරීමට  අදහස් කරගෙන ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

වර්තමානයේදී, ශ්‍රී ලංකාවේ වාර්ෂික රබර් නිෂ්පාදනය සඳහා කුඩා රබර් වතු හිමියන් 65%ක දායකත්වයක් සපයන අතර එය සමස්තයක් ලෙස මෙරටේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.2%කි. අද වන විට, රටේ රබර් නිෂ්පාදන ක්ෂේත‍්‍රය සඳහා වාර්ෂිකව ස්වභාවික රබර් මෙටි‍්‍රක් ටොන් 135,000ක් පමණ අවශ්‍ය වේ. කෙසේවෙතත්, මෙතරම් ප‍්‍රමාණයක ස්වභාවික රබර් නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකාවට නොහැකි වීම නිසා වාර්ෂිකව ස්වභාවික රබර් මෙටි‍්‍රක් ටොන් 60,000ක් පමණ ආනයනය කිරීමට සිදුව ඇත.

එනිසා, ශ්‍රී ලංකාවේ ආර්ථිකය, DPL සමාගම ක‍්‍රියාත්මක කරන මෙවැනි නිෂ්පාදන මෙහෙයුම් තුළින් පහළ මට්ටමේ රැකියාවන් සහ ජීවනෝපායන් නගා සිටු වීමට වැඩි අවස්ථාවක් නිර්මාණය කරන අතරම දේශීය හා අපනයන වෙළෙඳපොළ සඳහා විදේශ විනිමය ඉපැයීම ඉහළ නැංවීමේ හැකියාව ද ඇතැයි සමාගම පවසයි.

Visits: 50