අපනයන භාණ්ඩ පරීක්ෂාව වේගවත් කිරීමට නව ස්කෑනර් යන්ත්‍ර

ගුවන් තොටුපළ හරහා අපනයනය කෙරෙන භාණ්ඩ පරීක්ෂාවට විශේෂ ස්කෑනර් යන්ත්‍ර සවි කීරීමට තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ගුවන්තොටුපළ බළධාරීන්ට මේ පිළිබදව උපදෙස් ලබා දී තිබේ.

භාණ්ඩ අපනයනය විධිමත් කිරීම හා අපනයනකරුවන් මුහුණදෙන ගැටළු වලට විසදුම් ලබා දීම සදහා පසුගියදා පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත. රාජ්‍ය ඇමති ඩි.වි.චානක මහතා සමග අපනයනකරුවන්, ගුවන් හමුදා බලධාරීන් හා ගුවන් තොටුපළ බළධාරීහු මෙම සාකච්ඡාවට එක්ව තිබේ.

ඒ අනුව කටුනායක ගුවන්තොටුපළට පිවිසෙන විට භාණ්ඩ පරීක්ෂාව ප්‍රමාදයකින් තොරව සිදු කිරීමට නම් එහි ස්කෑනර් යන්ත්‍ර සවි කළ යුතු බව අපනයනකරුවන් මෙහි දී පෙන්වා දී ඇත.

එහිදී විශේෂයෙන්ම අධි ශීත භාණ්ඩ පැය ගණනකට පෙර ගෙන ඒම හේතුවෙන් භාණ්ඩ වල ගුණාත්මකභාවයට හානි සිදු වන බව ඔවුහු මෙහිදී පෙන්වා දී තිබේ. එමෙන්ම මෙම පරීක්ෂණ ක්‍රමවේදයේ පවතින අඩුපාඩු හේතුවෙන් තමන්ට විශාල ලෙස පාඩු සිදුවන බව ද අපනයනකරුවෝ මෙහි දී ඇමතිවරයාට පැමිණිලි කර තිබේ.

ඒ අනුව ගැටලුවට පිළිතුරු ලෙස ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා අමතමින් ශ්‍රී ලංකා රේගුව, ගුවන් හමුදාව, ගුවන් සමාගම් හා අපනයනකරුවන් අතර වට මේස සාකච්ඡාවක් කැදවා වහාම මෙම ගැටළු වලට විසදුම් ලබාදෙන ලෙස උපදෙස් ලබා දී ඇත.

දැනට ගුවන් මගින් භාණ්ඩ අපනයනයට පෙර ස්ථාන දෙකක දී පරීක්ෂාවට ලක්වේ. ඒ ගුවන් තොටුපළට ප්‍රවේශ වන ස්ථානයේ දි හා ගුවන් තොටුපළට භාණ්ඩ පැටවීමට පෙරයි. මෙම ස්ථාන දෙකට අවශ්‍ය නිළධාරීන් යොදවා එහි කාර්යක්ෂමතාව වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ඇමතිවරයා මෙහි දී අදාළ අංශ වලට උපදෙස් දුන්නේය.

පසුගිය වසරේ දී කටුනායක ගුවන් තොටුපළ මගින් මෙට්‍රික් ටොන් දෙලක්ෂහැටඑක්දහසක ගුවන් භාණ්ඩ මෙහෙයුම් සිදු කර තිබේ. ඉන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක්ම අපනයන භාණ්ඩ මෙහෙයුම් වේ. භාණ්ඩ මෙට්‍රික් ටොන් හැටදහසක් ආනයනය කර ඇති අතර භාණ්ඩ හුවමාරු මෙහෙයුම් සිදු ව ඇති ප්‍රමාණය මෙට්‍රික් ටොන් හැත්තෑපන්දහසක් පමණක් වේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග ගුවන් තොටුපළ මගින් මෙහෙයුම් නතර කෙරුණ ද භාණ්ඩ අපනයනය හා ආනයන මෙහෙයුම් ඉතා කඩිනමින් ආරම්භ කෙරිණ. ඒ අනුව පසුගිය කොවිඩ් වසංගත කාලය තුළ ද අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්ම වූ බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත.

එසේම 2019 ජුලි මාසය හා සැසදීමේ දී පසුගිය ජුලි මාසයේ දි මෙරට භාණ්ඩ අපනයන ආදායම 11.31% ක වර්ධනයක් ලබා ඇත. මෙම වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ වගකීම බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබේ. ඒ සදහා රජය අවශ්‍ය පහසුකම් තවදුරටත් දියුණු කරන බව ද ඇමතිවරයා මෙහිදී සදහන් කර ඇත.

Visits: 67