සමාගම් රැසක් ඒකාබද්ධවීම් සහ අත්පත් කරගැනීම් වෙත යොමු වීමේ ඉඩක්?

මෙරට ක්‍රියාත්මක කර්මාන්ත සහ සේවා අංශයන්හි සමාගම් රැසක් ඉදිරි කාලසීමාවේදී ඒකාබද්ධවීම් වෙත හෝ අත්පත් කරගැනීම් වෙත යොමුවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින වාර්තා වෙයි. විශේෂයෙන්ම මෙකී ක්ෂේත්‍ර වෙත කොවිඩ්-19 වසංගතයෙන් එල්ල වූ බලපෑම නිසා ඇතිව තිබෙන අර්බුධකාරී තත්ත්වයන් මේ සඳහා හේතු වී තිබේ.

ඒ අනුව දැනටමත් මෙවැනි ඒකාබද්ධවිම් සහ අත්පත් කරගැනීම් කිහිපයක්ම වෙළෙඳපොළ තුළ සිදුව ඇති බවත්, ඒ හරහා සිය ආදායම් වර්ධනය කරගැනීම් සඳහා යොමුව ඇති බවත් පැවසෙයි. එහිදී ඉදිරි ගනුදෙනු සඳහා ඇතැම් සමාගම් මේ වනවිට තමන්ගේ ව්‍යාපාර පිළිබඳ වටිනාකම් ප්‍රකාශ කිරීම් වෙත යොමු වෙමින් තිබෙන බවත් සඳහන් වෙයි.

විශේෂයෙන්ම මෙම අර්බුදකාරී අවස්ථාවේදී සිය ව්‍යාපාර පවත්වාගෙන යාමට ප්‍රාග්ධන සම්පාදනය අවශ්‍යවීම නිසා සිය ව්‍යාපාර හෝ ව්‍යාපාරවලින් කොටසක් විකිණීමක්  වෙත යොමුවෙමින් පවතින බවත් වාර්තා පවසයි. එහිදී සමාගම් සිය අභ්‍යන්තර ව්‍යාපාර ඇස්තමේන්තුගත කිරීමත්, සිය දේශීය තරගකාරී සමාගම් අත්පත් කරගැනීමත් සිදු වෙමින් පවතින බව සඳහන් වෙයි.

මෙහිදී මූලිකවම මෙරට ක්‍රියාත්මක මූල්‍ය සමාගම්වල අනාගතය සම්බන්ධයෙන් දැඩි අස්ථාවරත්වයක් මතුව තිබේ. ඒ අනුව සැලකිය යුතු මූල්‍ය සමාගම් කිහිපයක් ඉදිරි කාලසීමාවේදී ඒකාබද්ධවීම් හෝ අලෙවි කිරීම් සිදුවිය හැකි බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කර ඇති මූල්‍ය සමාගම්වල ප්‍රාග්ධන අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට නොහැකිවීම ඊට හේතු වී තිබේ. මේ වසර මුල සිට සම්පූර්ණ කර යුතුව තිබූ මෙම අවශ්‍යතාව කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2021 වසර දක්වා කල්දැමීමට මහ බැංකුව කටයුතු යොදා ඇත. ඒ අනුව දැනටමත් මෙම ඒකාබද්ධවීම් සහ අලෙවි කිරීම් සම්බන්ධයෙන් අදාළ මූල්‍ය සමාගම් සාකච්ඡා කෙරෙමින් පවතින බව වාර්තා පවසයි.

එසේම බොහෝ වතු සමාගම් සහ හෝටල්ද මෙම කොවිඩ්-19 වසංගතයෙන් එල්ලවූ බලපෑමෙන් දැඩි ලෙස හානියට පත්ව තිබේ. ඒ අනුව නිසි ලෙස ක්‍රියාත්මක නොවන මෙම සමාගම්ද ඉදිරි කාලසීමාවේදී ඒකාබද්ධවීම් හෝ අලෙවි කිරීම්/අත්පත් කරගැනීම් වෙත යොමු වීමේ වැඩි ඉඩක් පවතී. මේ අතරින් සමාගම් හිමිකරුවන් රැසකටම ව්‍යාපාරවලින් ඉවත් වීමේ වුවමනාවක්ද පවතින බව ආරංචි මාර්ග පවසයි.

මීට අමතරව බොහෝ ඉදිකිරීම් සමාගම් මෙන්ම කුඩා පරිමාණ ඇගලුම් කර්මාන්තශාලා රැසක්ද මෙම ලැයිස්තුවට ඇතුළත්ව තිබේ. ඒ අතරින් ඉදිකිරීම් සමාගම් වෙත අයවිය යුතු මුදල් මෙතෙක් නොලැබීමත්, ඇගලුම් කර්මාන්තශාලා වෙත ප්‍රමාණවත් ඇනවුම් නොමැතිවීමත් බලපා තිබේ. විශේෂයෙන්ම මෙම කර්මාන්ත අංශ වෙත බැංකු මගින් ලබා දෙන සහන ප්‍රමාණවත් නොවීම ඊට හේතුවී ඇතැයි සඳහන් වෙයි. ඒ අනුව මෙවැනි සමාගම්  හිමිකරුවන් සහ කොටස් හිමිකරුවන් සිය හිමිකම් අලෙවි කිරීමක් වෙත යොමු වී තිබේ.

Visits: 607