දේශීය ලුණු අවශ්‍යතාව සැපිරීමට මාන්තායි ලුණු සමාගමට ඇමතිගෙන් ඉලක්කයක්

ඉදිරි පස් වසර තුළ දේශීය ලුණු අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම සැලසීම මාන්තායි ලුණු සමාගමේ ඉලක්කය විය යුතු බව කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා පවසයි. පසුගියදා මාන්තායි ලුණු සමාගමේ සභාපති එච්. ජී. විජේතුංග මහතා ඇතුළු නිලධාරින් සමග සිය අමාත්‍යාංශයේදී පැවති සාකච්කජාවකදී ඇමතිවරයා මේ පිළිබඳව අවධාරණය කර තිබේ.

රජයට අයත් මාන්තායි ලුණු සමාගම මේ වනවිට වසරකදී නිෂ්පාදනය කරන ලුණු මෙට්‍රික්ටොන් 21,000කි. එම ප්‍රමාණය වැඩි කරගනිමින් දේශීය ලුණු අවශ්‍යතාව ආනයනය කිරීමෙන් තොරව දේශීය නිෂ්පාදනයෙන්ම සපුරා ගැනීම එහි ප්‍රධාන ඉලක්කය විය යුතු බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙහිදී නිලධාරීන්ට පවසා ඇත.

විශේෂයෙන්ම දේශීය ලුණු නිෂ්පාදනය වැඩි කිරීම සමග නව ලුණු මුලාශ්‍ර හඳුනාගැනීමට සහ දැනට හදුනාගෙන ඇති ලේවායන් ආශ්‍රිතව වැඩි නිෂ්පාදන ප්‍රමාණයක් සිදු කළ හැකි නවීන තාක්ෂණික ක්‍රම පිළිබද අවබෝධය ලබා ගැනීමට විශ්වවිද්‍යාල සහ පර්යේෂණ කණ්ඩායම් යොදා ගනිමින් පරික්ෂණයන් සිදු කිරීමේ වැදගත්කම මෙහිදී ඇමතිවරයා විසින් පෙන්වා දුන් බව පැවසෙයි.

“මේ සියල්ල හරහා ඉදිරි වසර 5 තුළ දේශීය ලුණු අවශ්‍යතාව සැපයීමට හැකිවන ලෙස මාන්තායි ලුණු සමාගම තම ඉලක්කය සකසා ගැනීම සිදු කළ යුතුයි.” යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

මෙම සාකච්ඡාව අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, අමාත්‍ය උපදේශකවරු වන සුනිල් හෙට්ටිආරච්චි, සුදේශ් නන්දසිරි, මාන්තායි ලුණු සමාගමේ සභාපති එච්. ජී. විජේතුංග, සාමාන්‍යාධිකාරි එම්.අයි.ටී මන්සිල් ඇතුළු නිලධාරීහු පිරිසක් ද සහභාගී වී තිබේ.

Visits: 76