Start Up Sri Lanka නව නිපැයුම් තරගාවලියේ අයැදුම්පත් භාරගන්නා අවසන් දිනය සැප්. 20දා

ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරනු ලබන, ‘Start Up Sri Lanka’ නව නිපැයුම් තරගාවලිය සඳහා අයදුම්පත් බාර ගැනීම දැන් ආරම්භ කොට ඇතැයි ජාතික තරුණ සේවා සභාව පවසයි.

වයස අවුරුදු 15-35 අතර නව නිපැයුම්කරුවන් ඔන්ලයින් ලියාපදිංචිය යටතේ වන අයදුම්පත‍්‍රයක් මඟින් හදුනා ගැනීම මෙහිදී සිදු කෙරේ. තරගකරුවන් හට www.nysc.lk වෙත පිවිසීමෙන් හෝ තමා පදිංචි දිස්ත‍්‍රික්කයේ ජාතික තරුණ සේවා සභාවේ දිස්ත‍්‍රික් කාර්යාල හා දිවයින පුරා පිහිටි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි තරුණ සේවා නිලධාරීන් මගින්ද ඉල්ලුම්පත් ලබා ගැනීම හා යොමුකිරීම සිදු කළ හැකිය.

අයදුම්පත් බාර ගන්නා අවසන් දිනය සැප්තැම්බර් මස 20 දා වන අතර, අයදුම්කරුවන් තනි අයදුම්කරුවන් ලෙස අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.

දිවයින පුරා විසිරී පැතිරී සිටින නව නිපැයුම්කරුවන් දිරිමත් කොට ඔවුන්ගේ එම නිර්මාණාත්මක හැකියාවන් වඩා වර්ධනය කරමින් එම නිෂ්පාදනයන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමට රැගෙනයාමේ හා නිර්මාණශීලී තාරුණ්‍යයට ව්‍යවසායකයින් ලෙස වෙළඳ පොලක් නිර්මාණය කිරීම මෙහි අරමුණ වී තිබේ.

කෘෂි තාක්ෂණික උපකරණ, කෘෂි කර්මාන්තය මුල් කර ගත් අගය එකතු කළ නිෂ්පාදන, විද්‍යුත් උපකරණ, රොබෝ විද්‍යාව, කෘත්‍රිම බුද්ධිය සහ අන්තර්ජාලීය උපකරණ, ක‍්‍රීඩා උපකරණ, ඛනිජ රසායනික නිෂ්පාදන, තොරතුරු තාක්ෂණය පදනම් කර ගත් ජනතා කේන්ද්‍රීය සේවාවන්, වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ, ඇගලුම් ක්ෂේත්‍රය යනාදී හදුනාගත් ක්ෂේත්‍ර 10 ක් යටතේ වන නව නිෂ්පාදන සඳහා මෙම තරගය විවෘත වන බව ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්/සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි.

මෙම තරගයේදී දිස්ත‍්‍රික් මට්ටමින් ජයග‍්‍රහණය කරනු ලබන ජයග‍්‍රාහකයින් 75 දෙනෙකු හා ජාතික මට්ටමින් ජයග‍්‍රහණය කරනු ලබන ජයග‍්‍රාහකයින් 30 දෙනෙකු තෝරා ගනු ලබන අතර, ජයග‍්‍රාහී නිර්මාණ නොවැම්බර් මස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වෙන නව නිපැයුම් ජාතික ප‍්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීමටද, මේ තුළින් ඔවුන් හට වෙළඳ පොළක් නිර්මාණය කර දීමට හා ඔවුනට ආයෝජකයින් හදුන්වා දීමට ද කටයුතු යොදා තිබේ.

Visits: 26