මහ බැංකුව ‘ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජ සංඛ්‍යාන 2020’ එළි දක්වයි

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් එළිදක්වා ඇති ‘ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජ සංඛ්‍යාන – 2020 (Economic and Social Statistics of Sri Lanka – 2020)’ ප්‍රකාශනය මේ වනවිට ජනතාවට මිලදී ගත  හැකි බව මහ බැංකුව පවසයි.

මෙහි මිල රුපියල් 300 කි. ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවෙන් නිකුත් කෙරෙන මෙම ප්‍රකාශනයේ මෙතෙක් ඉංග්‍රීසි සංස්කරණය පමණක් ඉදිරිපත්ව ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 70 වැනි සංවත්සරයත් යෙදෙන මේ වසරේදී නිකුත් කෙරුණු මෙම ප්‍රකාශනය පරිශීලනයට පහසු වන ලෙස එහි පිටු සැකැස්ම සිදු කර ඇතැයි මහ බැංකුවේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එහිදී වඩා වැඩි සංඛ්‍යා දත්ත ප්‍රමාණයක් ඇතුළත් කිරීමක්ද සිදුව තිබේ.

ඒ අනුව මෙම නව සංස්කරණය මගින් ප්‍රධාන අංශ අටක් යටතේ මෙහි සංඛ්‍යාලේඛන වගු ඉදිරිපත් කර ඇත. උදාහරණ ලෙස ‘ජාතික ගිණුම්’, ‘ආර්ථිකය සහ සමාජ යටිතලව්‍යුහය’ ‘මිල, වැටුප් සහ සේවානියුක්තිය’, ‘විදෙස් වෙළෙඳාම සහ මූල්‍ය’, ‘රාජ්‍ය මූල්‍ය’, ‘මුදල් සහ ප්‍රාග්ධන වෙළෙඳ පොළ’, ‘මූල්‍ය අංශය’ මෙන්ම ලෝකයේ වෙනත් රටවල සංඛ්‍යාන ද මෙහි ඇතුළත් කෙරී ඇත.

මෙහිදී සමාජ-ආර්ථික සංඛ්‍යාන දත්ත පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට ලබා ගත හැකි ලෙස මුද්‍රිත සහ ඩිජිටල් සංස්කරණ ලෙස මෙම ප්‍රකාශනය ඉදිරිපත් කෙරී ඇත.

ඒ අනුව කොළඹ 01, චැතම් වීදියේ පිහිටි මහ බැංකුවේ සෙන්ට්‍රල් පොයින්ට් ගොඩනැගිල්ලේ පිහිටි අලෙවි සහ බෙදාහැරීමේ කවුලුවෙන් (011-2444520), රාජගිරියේ පිහිටි බැංකු විදු පියසෙන් (0112477803) මෙන්ම මාතර, මාතලේ, නුවරඑළිය, කිලිනොච්චි, ත්‍රිකුණාමලය සහ අනුරාධපුරයේ පිහිටි මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාලයවලින් මුද්‍රිත පිටපත් මිලදී ගත හැකිය. එසේම මෙම ප්‍රකාශනයේ ඩිජිටල් ඉ-පිටපත මහ බැංකුවේ නිල වෙබ් අඩවිය (http://www.cbsl.gov.lk) වෙත පිවිසීමෙන් ලබා ගත හැකිය.

Visits: 267