මහ බැංකුවෙන් පළමුවරට ‘දෛනික ආර්ථික වාර්තාවක්’

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පළමුවරට ‘දෛනික ආර්ථික වාර්තාවක් (Daily Economic Indicators)’ ඉදිරිපත් කිරීමට අද දිනයේ පටන් කටයුතු යොදා තිබේ. ඒ අනුව සෑම වැඩකරන දිනකදීම ඊට පෙර දිනයේ මෙරට ආර්ථිකයේ සිදු වූ වෙනස්කම් පිළිබඳව දැක්වෙන සවිස්තරාත්මක සටහනක් ඉදිරිපත් කෙරෙන බව මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

මෙහිදී 2020 වසරේ පළමු කාර්තුවේ සැබෑ දළ ජාතික නිෂ්පාදනය, ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ජූලි මාසයේ උද්ධමනය, කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව අගෝස්තු මාසයේ උද්ධමනය, විනිමය අනුපාතය, ලෝක වෙළෙඳපොළේ රන් මිල, මුදල් වෙළෙඳ පොළ, කොටස් වෙළෙඳ පොළ මෙන්ම ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල සහ මෙරට විදුලි උත්පාදනය ඇතුළු බලශක්තිය පිළිබඳවද කරුණු ඇතුළත්ව තිබේ.

මේ දක්වා මහ බැංකුව මගින් නිකුත් කෙරුණේ සෑම සතියමක සිකුරාදා දිනයේදී නිකුත් කෙරෙන සතිපතා ආර්ථික වාර්තාව (Weekly Economic Indicators) යි.

මෙම ‘දෛනික ආර්ථික වාර්තාව’ තවමත් ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පළ කෙරෙන අතර, ඉදිරියේදී මහ බැංකුව හා සම්බන්ධ වී එය සිංහලෙන් පළ කිරීමට ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ වෙබ් අඩවිය කටයුතු යෙදීමට සූදානමින් සිටියි.

Visits: 280