ජපාන සංචාරකයන් සහ ආයෝජකයන් රැගෙන එන බව ජපාන තානාපති කියයි

COVID-19 වසංගතය නිසා කඩා වැටී ඇති මෙරට සංචාරක ක්ෂේත්‍රය නඟා සිටුවීම සඳහා ජපාන සංචාරකයන් ආකර්ෂණයටත්, ආර්ථිකය නගා සිටුවීම සඳහා ජපාන ආයෝජකයින් ශ්‍රී ලංකාව වෙත හඳුන්වාදීමටත් ජපාන රජය උනන්දු වන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා පවසයි.

ඊයේ පෙරවරුවේදී අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී තානාපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

“දිගුකාලීන සබඳතා නව මානයකින් ඉහළට ගෙනයාමට නව රජය සමඟ එක්ව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා,” යැයි තානාපතිවරයා මෙහිදී පවසා ඇත. විශේෂයෙන්ම ජපානය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් කැපවී සිටින බව ද ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.

එසේම පසුගිය මැතිවරණයෙන් ලද ජයග්‍රහණය සහ අගමැති ධූරයට නැවත පත්වීම පිළිබඳවද තානාපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා වෙත සුබ පැතුම් එක් කර ඇතැයි අගමැති කාර්යාලය පවසයි.

මෙහිදී ජපාන අග්‍රාමාත්‍ය සිං ෂෝ අබේ සහ ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැංවීම, පුනරුත්ථාපනය හා ප්‍රතිසංස්කරණය පිළිබඳ ජපාන රජයේ නියෝජිත යසුෂි අකාෂි යන මහත්වරුන්ගේ සුබ පැතුම් ලිපි දෙකක්ද තානාපතිවරයා විසින් අගමැතිවරයාට භාර දී ඇත.

“COVID-19 වසංගතය මධ්‍යයේ ශ්‍රී ලංකාව මැතිවරණයක් පැවැත්වීම රටෙහි ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිය පැහැදිලිව පෙන්නුම් කරනවා.” යනුවෙන්ද තානාපති සුගියාමා මහතා පවසා තිබේ.

මේ අතර, දෙරටේ දූත පිරිස නව රජයේ ප්‍රමුඛතා පිළිබඳව ද සාකච්ඡා කර තිබේ. මෙහිදී අදහස් දක්වා ඇති අගමැති මහින්ද රාජපක්ෂ මහතා, සියලු ශ්‍රී ලාංකිකයන්ට සුරක්ෂිත පානීය ජලය සැපයීමේ අවශ්‍යතාව පිළිබඳව අවධාරණය කර තිබේ.

ඒ අනුව යටිතල පහසුකම්, ජලය, අපජල කළමනාකරණය, කෘෂිකර්මාන්තය, මානව සම්පත් සංවර්ධනය සහ ත්‍රස්තවාදය පිටුදැකීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක මෙරට මැදිහත්වීම ගැන ජපාන තානාපතිවරයා අග්‍රාමාත්‍යතුමාට දැනුම් දුන්නේය.

“අපට ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි ආධාර සැපයිය හැකියි” යනුවෙන් තානාපතිවරයා අවසන් වශයෙන් සඳහන් කළ බව අගමැති කාර්යාලය පවසයි.

Visits: 31