ගෝලීය නවෝත්පාදන දර්ශකයෙන් ශ්‍රී ලංකාව ස්ථාන 12ක් පසුපසට

ලෝක බුද්ධිමය දේපළ පිළිබඳ සංවිධානය මගින් ඉදිරිපත් කරන ගෝලීය නවෝත්පාදන දර්ශකය 2020 (Global Innovation Index 2020) හිදී ශ්‍රී ලංකාව 101 වැනි ස්ථානය හිමි කරගෙන ඇතැයි වාර්තා වෙයි. කෙසේ වෙතත් පසුගිය වසරේදී ප්‍රසිද්ධ කෙරුණු ගෝලීය නවෝත්පාදන දර්ශකය 2019 දී ශ්‍රී ලංකාව එහි 89 වැනි ස්ථානයේ පසුවිය. ඒ අනුව ශ්‍රී ලංකාව මෙම දර්ශකයෙන් ස්ථාන 12ක් පසුපසට ගොස් තිබේ.

රටක් තුළ නවෝත්පාදන කාර්යයන් සඳහා රජයන් යොදවන මුදල් ප්‍රමාණය කොතරම්ද යන්න පිළිබඳ නිර්ණායක අනුව මෙම දර්ශකය සකස් කෙරේ. මෙවර එහි තේමාව වන්නේ Innovation is a Currency යන්නයි.

පසුගිය වසරේදී පැවැති ලකුණු ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාව 2020 වසරේදී මෙම දර්ශකයේ යම් සාර්ථකත්වයක් පෙන්වනු ඇති බවට බලාපොරොත්තුවක් පැවතියද ශ්‍රී ලංකාවේ එම සාර්ථකත්වය බලාපොරොත්තු වූ මට්ටමට වඩා පහත බව වාර්තාව පෙන්වා දෙයි.

එහිදී ශ්‍රී ලංකාවද ඇතුළුව තවත් රටවල් 11ක් මෙම තත්ත්වය උදා කරගෙන ඇතැයි පැවසෙයි. ඒ අනුව ශ්‍රී ලංකාව, උරුගුවේ, කැමරූන්, ඊජිප්තුව, ආර්ජන්ටිනාව, අසර්බයිජානය, ඉතියෝපියාව, ස්ලෝවැකියාව, චිලිය, අයිවරි කෝස්ට් සහ කාම්බෝජියාව එම රාජ්‍යයන් වෙයි.

2019 වසරේදී මෙකී රාජ්‍යයන් සියල්ලම බලාපොරොත්තු වූ මට්ටමට වඩා පහළ සාර්ථකත්වයක් දක්වනු ඇති බවට පෙන්නුම් කළ සීමාවේ පැවතුණි.

මෙම දර්ශකයට අනුව මධ්‍යම දකුණු ආසියානු කලාපීය රටවලට අයත් ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් ලෙස වර්ග කෙරී ඇත. මෙම වර්ගීකරණය සඳහා ලකුණු ලබා දෙන එක් එක් කාණ්ඩ යටතේ ශ්‍රී ලංකාව  හිමි කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව සහ ඉන් හිමිව ඇති ස්ථානයත් සටහන්ව ඇත.

ඒ අනුව දේශපාලන පරිසරය, නියාමන පරිසරය, ව්‍යාපාරික පරිසරය ඇතුළත් ආයතන අංශය යටතේ ලකුණු 46.8ක් ලබා ගෙන ඇති අතර හිමිව ඇත්තේ 119 වැනි ස්ථානයයි. එසේම අධ්‍යාපනය, ත්‍රිතීයික අධ්‍යාපනය, පර්යේෂණ සහ සංවර්ධනය ඇතුළත් මානව ප්‍රාග්ධන සහ පර්යේෂන අංශය තුළ ලකුණු 12.2ක්  හිමිව ඇති අතර ලබා ඇති ස්ථානය 119 යි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, පොදු යටිතලපහසුකම්, පාරිසරික තිරසාරත්වය යන කරුණු ඇතුළතු යටිතලපසුකම් අංශය යටතේ ලකුණු 37.9ක් හිමි කරගෙන ඇති අතර, ලැබී ඇත්තේ 78 වැනි ස්ථානයයි. ණය, ආයෝජන, වෙළෙඳ පොළ තරගකාරීත්වය සහ වෙළෙඳපොළ විශාලත්වය ඇතුළත් වෙළෙඳපොළ විදග්ධභාවය යටතේ ලකුණු 34.9ක් හිමිව ඇති අතර ලබා ගෙන ඇති ස්ථානය 118යි.

දැනුමැති සේවකයන්, නවෝත්පාදන සබඳතා, දැනුම උකහා ගැනීම් යන කොටස් ඇතුළත් ව්‍යාපාරික විදග්ධභාවය යන අංශය තුළ ලකුණු 24.4ක් හිමිව ඇති අතර පත්ව ඇති ස්ථානය 70 යි. දැනුම නිර්මාණය, දැනුමේ බලපෑම සහ දැනුමේ පැතිරවීම යන කාණ්ඩ ඇතුළත් දැනුම සහ තාක්ෂණයේ නිමැවුම් අංශය සඳහා ලකුණු 18.9ක් හිමිව ඇති අතර ලැබූ ඇත්තේ 68 වැනි ස්ථානයයි.

ස්පර්ශකළ නොහැකි වත්කම්, නිර්මාණාත්මක භාණ්ඩ සහ සේවා, මාර්ගගත නිර්මාණශීලීත්වය යනාදිය ඇතුළතු නිර්මාණාත්මක නිමැවුම් අංශය යටතේ ලකුණු 13.8ක් හිමිව ඇති අතර ලබා ගෙන ඇති ස්ථානය 100 වෙයි.

ශ්‍රී ලංකාව අයත් මධ්‍යම දකුණු ආසියානු කලාපයේ රටවල් අතරින් දර්ශකයේ පළමු ස්ථානය ඉන්දියාවට හිමිව ඇති අතර, දෙවැනි ස්ථානය ඉරානයටත් තෙවැනි ස්ථානය කසකස්තානයටත් හිමිව තිබේ.

මෙවර ගෝලීය නවෝත්පාදන දර්ශකය 2020 හි පළමු ස්ථානය ස්විස්ටර්ලන්තයට හිමිව තිබේ. අනතුරුව දෙවැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා පිළිවෙලින් ස්වීඩනය, ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, සිංගප්පූරුව, ජර්මනිය සහ දකුණු කොරියාව නම් කෙරී ඇත.

Visits: 573