ඇමති විමල්, කෙසෙල් කඳට මිල වටිනාකමක් දීමට යයි

කෙසෙල් ගොවියාගේ අතමිට සරු කරන පරිසර හිතකාමී ආහාර ඇසුරුම් පෙළක් හඳුන්වා දීමට කර්මාන්ත ඇමති විමල් මැදිහත්වීමක් සිදු කර ඇතැයි එම අමාත්‍යාංශය පවසයි. එහිදී කෙසෙල් කඳ යොදා ගනිමින් පරසර හිතකාමී යෝගට් කෝප්ප ඇතුළු අනෙකුත් ආහාර ඇසුරුම් පෙළක් පර්යේෂණ මට්ටමින් නිපදවා ඇති ව්‍යවසායකයෙකුට අවශ්‍ය සහාය ලබාදීමට අමාත්‍යවරයා පියවර ගෙන ඇත.  

ඒ අනුව මෙවැනි නිෂ්පාදනයේ යෙදෙන ‘එකෝ-මා පැකේජින් පෞද්ගලික ආයතනයේ’ සභාපති, නව නිපැයුම්කරුවකු වන මේනක ආරියරත්න මහතාට කඩිනමින් සිය නිෂ්පාදනය වෙළඳපොළට නිකුත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු යොදා ඇතැයි පවසයි. 

මේ ව්‍යාපෘතිය හරහා පරිසර හිතකාමී, සෞඛ්‍යාරක්ෂිත යෝගට් කෝප්ප ඇතුළු ආහාර ඇසුරුම් පෙළක් මෙරට ජනතාව ලබා දීමටත් ඉදිරියේ දී ඒවා ශ්‍රී ලාංකේය අභිමානය සහිතව විදෙස් වෙළඳාපොළට නිකුත් කිරීමටත් හැකි වනු ඇති බවට මේනක ආරියරත්න මහතා පවසයි. 

පසුගියදා කර්මාන්ත අමාත්‍යාංශයේදී අමාත්‍යවරයා හමුවීමෙන් අනතුරුව සිය නිෂ්පාදන පෙළ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මේනක ආරියරත්න මහතා, “අපි මේ වන විට කෙසෙල් කඳ යොදා ගෙන ආහාර ඇසුරුම් නිෂ්පාදන පෙළක් ඉදිරිපත් කොට තිබෙනවා. කෙසෙල් ගොවීන් ඵලදාව නෙලා ගැනීමෙන් පසු ඉවත දමන කෙසෙල් කඳන් තමයි අපි මේ සඳහා යොදා ගන්නේ.” යනුවෙන් පවසා සිටියි.

ඒ අනුව මෙතෙක් කලක් මිලක් නොලැබුණු කෙසෙල් ගොවියාගේ ‘කෙසෙල් කඳට මිල වටිනාකමක් ලබා දීම සිය අරමුණ බව ආරියරත්න මහතා පවසයි.

“විශේෂයෙන්ම අපේ නව නිපැයුම් පෙළත් සමඟ කෙසෙල් කඳට මිල වටිනාකමක් ලැබෙනාවා. ඒ නිසා කෙසෙල් ගොවියාට තම අස්වැන්න මත පදනම් නොවූ ආදායමක් හිමි වෙයි. ඒ අනුව මේ හරහා කෙසෙල් වගාව ප්‍රවර්ධනය වීමක් ද මෙමඟින් සිදුවේවි.

Visits: 73