සොෆ්ට්ලොජික් ලයිෆ් වෙත ඇ.ඩොලර් මිලියන 30ක ෆින්ලන්ත, නෝර්වේ ආයෝජන

සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම විසින්, කර්මාන්ත සඳහා මූල්‍ය පහසුකම් සපයන ෆින්ලන්තයේ අරමුදලක් වන FinnFund සහ සංවර්ධනය වන රටවල් සඳහා අරමුදල් ලබා දෙන නෝර්වේජියානු ආයෝජන අරමුදලක් වන NorFund සමගින් පසුගියදා (2020 අගෝස්තු 24දා) ගිවිසුමක් අත්සන් කරන ලද බව පවසයි.

එසේම පසුගිය 2020 මාර්තු මාසයේදී ලෝකයේ ඉහළම ප‍්‍රතිරක්ෂණ, ප‍්‍රාථමික රක්ෂණ හා රක්ෂණය ආශ‍්‍රිත අවදානමට  විසඳුම් සපයන සැපයුම් ආයතනයක් වන MunichRe Münchener Rückversicherungs-Gesellschaft  සමඟ ඇ. ඩො. මිලියන 15ක ගනුදෙනුවක් වෙත පිවිසීමටද සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම කටයුතු යොදා ඇත.

ඒ අනුව මෙම ගිවිසුම් හරහා සොෆ්ට්ලොජික් ලයිෆ් වෙත සිදුව ඇති ෆින්ලන්ත සහ නෝර්වේ ආයෝජනයන්ගේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 30ක් එනම් රුපියල් බිලියන 5.6 ක් පමණ වෙයි.

මේ අතරින් ෆින්ලන්ත අරමුදල සහ නෝර්වේජියානු අරමුදල ඇමරිකානු ඩොලර් මිලියන 15Tier II ණය ගනුදෙනුවක් සඳහා ගිවිසුම් අත්සන් කෙරී ඇත. සමාගමේ ව්‍යාපාර අරමුණු තවදුරටත් සංවර්ධනය කිරීමට මෙම ආයෝජන යොදා ගන්නා බව සොෆ්ට්ලොජික් ලයිෆ්  රක්ෂණ සමාගම පවසයි.

මෙම NorFund සහ FinnFund යනු නෝර්වේ සහ ෆින්ලන්ත රජයන් විසින් සහ පුද්ගලික ප‍්‍රාග්ධන වෙළෙඳපොළවල් මගින් අරමුදල් සපයනු ලබන සමාගම් වන අතර, ලොව පුරා වගකිව යුතු සහ ලාභදායී ව්‍යාපාරවල සංවර්ධනය සඳහා අරමුදල් සැපයීම ඒවායේ අරමුණ වේ.

එසේම MunichRe සමගින් සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම පසුගිය මාර්තුවේ ඇති කරගත් ගනුදෙනුව සොෆ්ට්ලොජික් ලයිෆ් ආයතනය සතු ඉහල මට්ටමේ ගුණාත්මක නිෂ්පාදන කළඹ සලකා බලා සිදු කරන ලද්දක් බවත්, එය දකුණු ආසියාවේ ප‍්‍රතිරක්ෂණ ක්ෂේත‍්‍රයේ නවොත්පාදන මෙන්ම ප‍්‍රමුඛ පෙළේ ගනුදෙනුවක් ලෙස සැලකෙන බවත් පැවසෙයි.

එහිදී මෙම ගනුදෙනු මුළු ලෝකයටම බලපා ඇති කොවිඩ්-19 මධ්‍යයේ සිදු වීම තවත් විශේෂත්වයක් වන බවත් සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ තුන්වන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් ජීවිත රක්ෂණ සමාගම මෙම සුවිශේෂී ගනුදෙනු හරහා එම සමාගමට මෙන්ම මෙරට සමස්ත ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ව්‍යාප්තිය හා දියුණුව සඳහා විශිෂ්ට බලාපොරොත්තු තව තවත් උද්දීපනය කරන බවත් පවසයි.

මෙම නව ආයෝජනය සම්බන්ධයෙන් අදහස් දක්වන සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා, “FinnFund, NorFund, සහ MunichRe යන මෙම ආයෝජනයන් සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රබල ව්‍යාපාරයක් බවට පත් කිරීම සඳහා අප විසින් කර ඇති කැපවීමේ සාක්ෂියක් වගේම අප සුවිශේෂ දෙයක් සිදු කර ඇති බවට ලැබුණු සහතිකයක් ලෙස සිතීමට අප කැමතියි,”යනුවෙන් පවසා සිටියි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වන සභාපතිවරයා”විශේෂයෙන්ම 2019 දී රක්ෂණ වෙළෙඳපොළේ විකුණනු ලැබූ සෑම රක්ෂණ ඔප්පු තුනෙන් එකක්ම සිදු කරන ලද්දේ සොෆ්ට්ලොජික් ලයිෆ් බව පවසන්නේ ආඩම්බරයෙන්. එය අප ආවරණය කරන පාරිභෝගික පිරිස හා අපගේ නිෂ්පාදන විවිධාංගීකරණය පිළිබඳ පැහැදිලි සාක්ෂියක්.” බවද සඳහන් කරයි.

මෙම ආයෝජනය ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත‍්‍රය සඳහා NorFund සහ FinnFund වෙතින් සිදු කරන පළමු ආයෝජනවලින් එකක් වන අතර, මෙම ආයෝජනය හරහා ආසියාවේ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින වෙළෙඳපොළවල් මෙන්ම සොෆ්ට්ලොජික් ලයිෆ් වැනි තිරසාර ව්‍යාපාරවල ප‍්‍රාග්ධනය පුළුල් කිරීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ.

Visits: 339