විදෙස් ගමන් තහනමෙන් නිදහස් වූ නිමල් පෙරේරා ලෝකයට පෙර රට වටේ සංචාරයක

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික, ආයෝජක නිමල් පෙරේරා වෙත පනවා තිබූ විදෙස් ගමන් තහනම අත්හිටුවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ නියෝග කළ බව අධිකරණ වාර්තා පවසයි.

ඒ අනුව සිය සේවාදායකයාට විදෙස් ගමන් සඳහා යෙදීමේ අවස්ථාව මේ හරහා හිමි වන බව නිමල් පෙරේරා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් එයාර් බස් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් වංචා කළ බවට චෝදනා ලැබ සිටින එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයෙකු වන කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වූ නියෝමාලි විජේනායකගේ ගිණුමෙන් ඩොලර් ලක්ෂ 8ක් නිමල් පෙරේරා මහතාට අයත් සේබර් විෂන් හෝල්ඩින් නම් සමාගමේ ගිණුමට බැරවී තිබෙන බව රහස් පොලිසිය මගින් පසුගිය පෙබරවාරි මාසයේදී අනාවරණය කර ගැනුණි.

ඒ අනුව නිමල් පෙරේරා මහතාට විදෙස් ගමන් තහනමක් පැනවුණු අතර, ඔහුට අයත් මෙරට බැංකු ගිණුම් 4ක විස්තර ලබා දෙන ලෙසද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය එම අවස්ථාවේදී නියෝග ලබා දී තිබුණි.

මීට පෙර එම නඩුව කැඳවූ අවස්ථාවේදී නිමල් පෙරේරා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා තම සේවාදායකයාට අයත් යැයි කියන සේබර් විෂන් හෝල්ඩින්ග්ස් නම් ආයතනයේ ගිණුමට මෙසේ මුදල් බැරවීම සම්බන්ධයෙන්ද තම සේවාදායකයා නොදන්නා බවත්, ඒ ගැන සොයා බැලීමට ඔහුට සිංගප්පූරුවට යාමට අවශ්‍යබවත් සඳහන් කර තිබේ.

ඒ අනුව මේ ගැන සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ව්‍යාපාරික නිමල් පෙරේරාට මෙලෙස විදේශ ගතවීමට අවසර ලබා දුන් බව සඳහන් වෙයි.

මේ අතර යළිත් වරක් විදෙස් සංචාර ඇරඹීමට පෙර ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි රට පුරාම සංචාරය කිරීමට තමන් තීරණය කර ඇතැයි නිමල් පෙරේරා මහතා ඊයේ සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණි. ඒ වන විටත් ඔහු මන්නාරමේ සහ තලෙයිමන්නාරමේ සිට ලබා ගත් ඡායාරූප කිහිපයක් සිය ගිණුම හරහා ප්‍රසිද්ධියට පත් කර තිබුණි.

මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු ආයෝජකයෙකු වන නිමල් පෙරේරා මහතා NP Capital Ltd ආයෝජන සමාගමේ සභාපතිත්වය දරයි. එසේම Arimac Lanka සහ Dunimak යන සමාගම්වල සභාපතිත්වය දරයි. අද වන විට ඔහු ඉදිකිරීම්, වෙළෙඳාම්, මූල්‍ය සේවා, තාක්ෂණික, දේපළ සංවර්ධන, සත්කාරක සේවා සහ නිවාඩු යනාදී ක්ෂේත්‍ර පුරා ආයෝජන සිදු කර තිබේ.

කලක් මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා සමගින් එක්ව 2017 වසර තෙක් ව්‍යාපාර කටයුතු සිදුකළ නිමල් පෙරේරා මහතා ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී, ලංකා සෙරමික්ස් පීඑල්සී, හොරන ප්ලාන්ටේෂන්ස් පීඑල්සී, ස්විස්ටෙක් සිලෝන් පීඑල්සී, රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී යන සමාගම්වල කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය. වැලිබල් වන් පීඑල්සී සමාගමේ නියෝජ්‍ය සභාපතිවරයා විය. එල්.බී. ෆිනෑන්ස් සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා ලෙසත්, හේලීස් පීඑල්සී, කිංග්ස්බරි පීඑල්සී, හේකාර්බ් පීඑල්සී සහ තලවාකැලේ ටී  එස්ටේට්ස් පීඑල්සීහි අධ්‍යක්ෂවරයා මෙන්ම වැලිබල් පවර් එරත්න පීඑල්සී ඇතුළු සමාගම්හි විකල්ප අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර තිබේ.

ධම්මික පෙරේරා සමගින් පැවැති සහයෝගිතාවයෙන් ඉවත්වූ නිමල් පෙරේරා පසුව 2018 වසරේ සිට තනිවම කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනයට ඉදිරිපත් විය. එහිදී ඔහු සිදුකළ ආයෝජනයේ වටිනාකම රුපියල් බිලියන 2කට ආසන්න විය. එහිදී ලැයිස්තුගත සමාගම්හි විදේශිකයන් සතුව තිබූ කොටස් වැඩි ප්‍රමාණයක් තමන් සතු කරගැනීමට නිමල් පෙරේරා සමත් විය.

මේ යටතේ ඔහු හැටන් නැෂනල් බැංකුවේ කොටස් මිලියන 1.7 ක්, සම්පත් බැංකුවේ කොටස් මිලියන 2.5ක්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි කොටස් මිලියන 1.5ක්, එයිට්කන් ස්පෙන්ස් හි කොටස් මිලියන 1.5ක්, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි කොටස් මිලියන 3ක්, සෙලාන් බැංකුවේ කොටස් මිලියන 1ක්, ඒෂියන් හොටෙල්ස්හි කොටස් මිලියන 2ක්, ටෝකියෝ සිමෙන්ති හි කොටස් මිලියන 2ක්, ඇක්සස් ඉන්ජිනියරිං සමාගමේ කොටස් මිලියන 1.5ක්, ෂෙවරෝන් ලුබ්රිකන්ට්ස් සමාගමේ කොටස් ලක්ෂ පහක් සහ ඒෂියා ඇසෙට් ෆිනෑන්ස් හි කොටස් මිලියන 7ක් යනාදී ලෙස කොටස් මිලදී ගැනීමට කටයුතු යොදා තිබූ බව මාධ්‍ය වාර්තා පවසයි.

Visits: 581