ලංකාවේ චීන තානාපති කාර්යාලයෙන් ඇමෙරිකාවට දෝෂාරෝපණ

ප්‍රධාන පෙ​ළේ චීන සමාගම්වලට පැනවූ සම්බාධක සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඇමෙරිකා එක්සත් ජනපදයට දෝෂා​රෝපණය කර සිටින බව පවසයි. පසුගිය සති අන්තයේ ඇමෙරිකාව විසින් ප්‍රමුඛ චීන සමාගම් 24කට ඇමෙරිකානු නිෂ්පාදන මිලදී ගැනීම තහනම් කරමින් සම්බාධක පැනවීය.

මෙසේ තහනමට මුහුණ දෙන චීන සමාගම් 24 අතරට කොළඹ වරාය නගරය (පොර්ට් සිටි) ඉදිකරන චයිනා පෝර්ට් ඉංජිනියරිං (CHEC) මව් සමාගම වන චයිනා කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම අයත්වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කොළඹ චීන තානාපති කාර්යාලය ඇමෙරිකාව මෙලෙස සම්බාධක පැනවීම ‘සත්‍යයට මුළුමනින්ම පටහැනි බවත්, එමගින් අන්තර්ජාතික නීතිය සහ සම්මතයන් උල්ලංඝනය කරන බවත්’ පවසා සිටියි.

දකුණු චීන මුහුදේ කෘත්‍රිම දූපත් ඉදිකරමින් සිටින චීන සමාගම්වල කටයුතු අඩාළ කිරීම සඳහා ඇමෙරිකාව මෙම තහනම පැනවූ බව විදෙස් දේශපාලන විශ්ලේෂකයන් ප්‍රකාශ කරන අතර, පෝර්ට් සිටියේ ඉදිකිරීම් සිදුකරන සමාගමේ මව් සමාගමද අදාළ දූපත් ඉදිකිරීමේ කටයුතුවල නිරතව සිටින සමාගමක් බවත් පැවසෙයි.

Visits: 69