රාජ්‍ය ඇමති කබ්රාල් හෙට SEC, CSE ප්‍රධානීන් හමුවෙනවාලු

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යාවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා හෙට (සැප්තැම්බර් 03) මෙරට ප්‍රාග්ධන වෙළෙඳ පොළ ප්‍රධානීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

අමාත්‍යවරයා සිය ධුරයේ වැඩභාරගැනීමෙන් මෙම ප්‍රධානීන් හමුවන පළමු අවස්ථාවද මෙයයි. එසේම ප්‍රාග්ධන වෙළෙඳ පොළ සඳහා රාජ්‍ය අමාත්‍යවරයෙකු පත් කෙරුණු පළමු අවස්ථාවද මෙය වෙයි.

ඒ අනුව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) සභාපතිවරයා සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්ම කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) සභාපතිවරයා සහ එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සමගින් රාජ්‍ය අමාත්‍යවරයා සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) සභාපති ජනාධිපති නීතීඥ විරාජ් දයාරත්න
කොළඹ කොටස් වෙළෙඳ පොළ සභපති දුමිත් ප්‍රනාන්දු

අමාත්‍යවරයා සහ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සහ කොළඹ කොටස් වෙළෙඳ පොළ ප්‍රධානීන් අතර හෙට දිනයේදී පැවැත්වෙන මෙම හමුවේදී තවදුරටත් සමාගම් ලැයිස්තුගත කිරීම සම්බන්ධයෙන් මෙන්ම ද්‍රවශීලතාව මෙන්ම ප්‍රාග්ධන වෙළෙඳපොළ සම්බන්ධයෙන් සිදු කළ යුතු ඉදිරි ප්‍රතිසංස්කරණද සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි පැවසෙයි.

මීට අමතරව ප්‍රාග්ධන වෙළෙඳපොළ හා සම්බන්ධ අනෙකුත් පාර්ශ්වකරුවන්ද ඉදිරියේදී ක්‍රමයෙන් හමුවීමටද රාජ්‍ය අමාත්‍යවරයා බලාපොරොත්තුව සිටියි.

කබ්රාල් මහතා මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

මේ අතර, ලබන සැප්තැම්බර් 17 වැනිදා සිට කොළඹ කොටස් වෙළෙඳපොල කටයුතු ඩිජිටල්කරණයට ලක් කිරීමට සියලු කරුණු සම්පාදනය කර ඇතැයි එහි නියාමකයා වන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව දැනටමත් මුදල් අමාත්‍යවරයා වන අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇතැයිද පැවසෙයි.

Visits: 204