දේශීය ආයෝජකයන් කොටස් මිලදී ගනිද්දී විදෙස් ආයෝජකයන් තවදුරටත් සිය කොටස් විකුණයි

කොටස් වෙළෙඳ පොළ තුළ දේශීය ආයෝජක විශ්වාසය එලෙසින්ම පවතිද්දී, විදේශීය ආයෝජකයන් තමන් සතුවූ ප්‍රධාන පෙළේ සමාගම්හි කොටස් අලෙවි කිරීම් අද දිනටත් කැපී පෙනෙන ලෙස සිදු වුණු බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එසේම විශාල සමාගම් තුළ පවතින අස්ථාවරත්වය අද දිනය නිමාවේදී දර්ශක අගයන් සඳහා බලපා තිබේ.

ඒ අනුව පෙරේදා (අගෝස්තු 31දා) දිනයට සාපේක්ෂව අද දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය (ASPI)ධන අගයක් ගත් අතර, ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකය ඍණ අගයක් ගෙන තිබුණි.  

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,337.60 ත් ඒකක 5,365.75 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,359.99ක් බවට පත්විය. ඒ අනුව පෙරේදා (අගෝස්තු 31දාට) සාපේක්ෂව එය ඒකක 30.66 ක් එනම්0.58%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡා හරහා පසුව පැමිණි එකඟතාවකට අනුව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, විදුල්ලංකා සහ ඩයලොග් ආසිආටා සිදු කළ ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 42%ක් සඳහා දායකත්වයක් ලබා දී ඇත.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 94ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 61ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කාර්සන් කුම්බර්බැච් පීඑල්සී CARS (+9.99), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී BIL (+6.61), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+4.09), එල්ඕඑල්සී පීඑල්සී LOLC (+4.05), ඩිල්මා සිලෝන් ටී කම්පැනි පීඑල්සී CTEA (+1.67), කොමර්ෂල් බැංකුව පීඑල්සී COMB (-2.04), බුකිට් ධාරා පීඑල්සී BUKI (-1.85), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-1.82), හැටන් නැෂනල් බැංකුව පීඑල්සී HNB (-1.32)  සහ නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී NDB (-0.91) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,348.36 ක අගයක් ගත් අතර, එය පෙරේදා (අගෝස්තු 31) දිනයට සාපේක්ෂව ඒකක 11.93 ක එනම් -0.48%ක පහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.79ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙරේදා දිනයේ වාර්තා කළ රුපියල් බිලියන 1.36 ට සාපේක්ෂව 31%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.33 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 18.30%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 43.92ක් ලෙස සටහන් විය. එසේම  සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 686.47ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 642.54කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 32.75ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ටීජේ ලංකා පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 12.49කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 543.57ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 789ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 44% ක අගයක් ගෙන තිබේ. එසේම උපයෝගිතා සහ බැංකු අංශ එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 280ක සහ රුපියල් මිලියන 227ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 331