බලපත්‍ර හිමියන්ට අඩු කළ මිලට දේශීයව වාහන මිලදී ගැනීමේ පහසුකම

සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමි නිලධාරීන්ට තම අභිමතය පරිදි තමන් සතු බලපත්‍ර භාවිත කර ශ්‍රී ලංකාව තුළ ඇති ලියාපදිංචි නොකළ මෝටර් රථ/කැබ් රථ මිලදී ගත  හැකි බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් මගින් පවසයි.

එහිදී සහනදායී මෝටර් රථ බලපත්‍රයේ සඳහන් බදු සහනය හා සමාන මුදලක් අඩු කරනු ලැබූ වෙළඳපල මිලකට එම රථය බලය ලත් වාහන අලෙවි නියෝජිතයෙකු / ශ්‍රී ලංකාව තුල ලියාපදිංචි වී ඇති වාහන ආනයනකරුවෙකු හරහා ලබා ගැනීමට හැකි බව අමාත්‍යාංශය සඳහන් කරයි.

ඊට අදාළ වන පරිදි අංක 01/2020 දරන 2020.08.28 දිනැති වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශ වෙබ් පිටුවේ පළකර ඇතැයිද අමාත්‍යාංශය පවසයි.

“මෙම චක්‍රලේඛයේ සඳහන් විධිවිධාන අනුව වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛ අංක 01/2018 (සංශෝධිත) සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22/99 (සංශෝධිත) යටතේ නිකුත් කර මෙතෙක් භාවිත කර නොමැති සහනදායී මෝටර් රථ බලපත්‍ර, බලය ලත් වාහන අලෙවි නියෝජිතයෙකු / ශ්‍රී ලංකාව තුල ලියාපදිංචි වී ඇති වාහන ආනයනකරුවෙකු වෙත ලබා දී එම බලපත්‍රයේ සඳහන් බදු සහනය හා සමාන වටිනාකමක් අඩු කළ වෙළඳපල මිලකට මෙරට තුල ඇති ලියාපදිංචි නොකල මෝටර් රථයක් මිලදී ගැනීමට හැකියාව පවතී.” යනුවෙන් එම නිවේදනයේ ඇතුළත් වෙයි.

ඒ අනුව ඉහත පරිදි සහනදායී මෝටර් රථ බලපත්‍ර තම භාරයට ගෙන බදු සහනයට සමාන මිලක් අඩු කළ වෙළඳපළ මිලකට මෝටර් රථ අලෙවි කරනු ලබන බලය ලත් වාහන අලෙවි නියෝජිතයන් / ශ්‍රී ලංකාව තුල ලියාපදිංචි වී ඇති වාහන ආනයනකරුවන් විසින් ඉදිරියේදී මෝටර් රථ ආනයනය කිරීමේදී  අදාළ බලපත්‍රයේ සඳහන් බදු සහනය ලබා දීමට මුදල් අමාත්‍යාංශය විසින් කටයුතු කරනු ඇතැයි යනුවෙන්ද සඳහන් වෙයි.

Visits: 146