හම්බන්තොටට අලුතින් චීන ටයර් කර්මාන්තශාලාවක්

හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත හෙක්ටයාර 280ක කර්මාන්තපුරය තුළ පළමුවෙන්ම ටයර් කර්මාන්ත ශාලාවක් ඉදි කිරීමට නියමිත ව ඇතැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහ (HIPG)  (පෞද්ගලික) සමාගමේ  විධායක නිලධාරී රේ රෙන් මහතා පැවසූ බව කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහ (පෞද්ගලික) සමාගම අතර ඊයේ කොළඹ එම අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවක් අතරතුරදී මෙම කරුණු අනාවරණය වී තිබේ. ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරී ඇත.

එහිදී වැඩිදුරටත් කරුණු දක්වා ඇති හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහ (පෞද්ගලික) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා, මෙම ටයර් කර්මාන්ත ශාලාව සඳහා සිදු කරන ආයෝජනය ඇමරිකන් ඩොලර් මිලියන 300ක් බවත් සඳහන් කර තිබේ.

එසේම මේ කර්මාන්ත ශාලාව සඳහා අවශ්‍ය වන සේවක පිරිස 2000ක් බවත් ප්‍රදේශයේ පිරිස් වෙත එම අවස්ථාවන් ලබා දීමටත් ටයර් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය ශ්‍රී ලංකාවෙන් ලබා ගැනීමටත් පියවර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.

මෙහි දී ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය පිණිස හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහ (පෞද්ගලික) සමාගම විසින් සකසන ලද යෝජනාවලියක් ද අමාත්‍යවරයා වෙත පිළිගන්වා තිබේ. මෙම සාකච්ඡාව සඳහා එම සමාගමේ සාමාන්‍යාධිකාරී ටිම් ෂියාඕ මහතා ද එක්ව තිබේ.

Visits: 89