SEC හි දේපළ වෙළෙඳාම් ආයෝජන භාරය ගැන වෙබ් සම්මන්ත්‍රණයක් 28දා

ලංකා වාණිජ මණ්ඩලය (CCC) සහ ප්‍රයිස්වෝටර්හවුස්කූපර්ස් (PwC) එක්ව සංවිධානය කරනු ලබන, කොළඹ කොටස් වෙළෙඳ පොළ නවතම හඳුන්වාදීම වන දේපළ වෙළෙඳාම් ආයෝජන භාරය (REITs) පිළිබඳ අන්තර්ජාල වෙබ් සාකච්ඡාවක් (Webinar) ලබන අගෝස්තු 28 වැනිදා පෙරවරු 10.30 සිට මධ්‍යහ්න 12.00 දක්වා පැවැත්වෙන බව ලංකා වාණිජ මණ්ඩලය පවසයි.

මෙම නවතම දේපළ වෙළෙඳාම් ආයෝජන භාරය හරහා කුඩා හා මහාපරිමාණ ආයෝජකයන්ට දේපළ වෙළෙඳ ක්ෂේත්‍රය තුළ ආයෝජනය කිරීමේ අවස්ථාව උදා වන බව  පැවසෙයි. මෙය ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වෙයි.

වසර ගණනාවක් පුරා පැවැති සාකච්ඡාවලින් අනතුරුව මෙම ආයෝජන භාරය පිළිබඳ ක්‍රියාරාමුවක් හඳුන්වා දෙන්නට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාාව පසුගිය ජූලි මාසයේදී පියවර ගෙන තිබුණි.

ඒ අනුව මෙම අන්තර්ජාල සාකච්ඡාව හරහා එම ක්‍රියාරාමුව පිළිබඳව සහ ඊට අදාළ නව රෙගුලාසි සහ එහි යෙදවුම් පිළිබඳව ප්‍රාග්ධන වෙළෙඳ පොළ තුළ ආයෝජනය කරන්නන්ට සහ දෙපෙළ වෙළෙඳාම් සංවර්ධනය කරන්නනන්ට තවදුරටත් තොරතුරු දැන කියා ගත හැකි බව ලංකා වාණිජ මණ්ඩලය සඳහන් කර සිටියි.

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති විරාජ් දයාරත්න, කොළඹ කොටස් වෙළෙඳ පොළ සභාපති දුමිත් ප්‍රනාන්දු යන මහත්වරුන් මෙහිදී සිය අදහස් දැක්වීමට නියමිතව ඇත. එසේම සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සාංගමික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ආචාර්ය හර්ෂන සූරියප්පෙරුම මහතා විසින් අදාළ දේපළ වෙළෙඳාම් ආයෝජන භාරයේ ක්‍රියාරාමුව පිළිබඳව හඳුන්වාදීමක් සිදු කරයි.

අනතුරුව මෙම අන්තර්ජාල සාකච්ඡාව සහ ප්‍රශ්නෝත්තර වටය ආරම්භ කෙරෙන අතර කොළඹ කොටස් වෙළෙඳ පොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක, ආචාර්ය හර්ෂන සූරියප්පෙරුම, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නීති සහ බලාත්මක කිරීම් අංශයේ අධ්‍යක්ෂ අයන්ති අබේවික්‍රම සහ කැන්ඩොර් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්ෂ රවී අබේසූරිය (ලංකා වාණිජ මණ්ඩලයේ මූල්‍ය සහ ප්‍රාග්ධන පිළිබඳ ජාතික න්‍යායපත්‍ර කමිටුවේ සම සභාපති) යන මහත්ම මහත්මීන් ඊට එක්වෙයි.

මෙම අන්තර්ජාල සාකච්ඡාව මෙහෙයවීම ප්‍රයිස්වෝටර්හවුස්කූපර්ස් ආයතනයේ අධ්‍යක්ෂිකා රුවිනි ප්‍රනාන්දු විසින් සිදු කරනු ලබයි.

මෙම අන්තර්ජාල සාකච්ඡාව සඳහා ලියාපදිංචි වීමට niroshini@chamber.lk, amanda@chamber.lk හෝ events chamber.lk යන ඊමේල් ලිපින වෙත පණිවුඩයක් යැවිය යුතුය.

පෙර ලිපිය
SEC වෙතින් දේපළ වෙළෙඳාම් ආයෝජන භාරය (REITs) පිළිබඳ ක්‍රියාරාමුවක් හඳුන්වා දෙයි

Visits: 200