“සංචාරක සහන පැකේජයේ ප්‍රායෝගික ගැටළුවලට කඩිනම් විසදුම් දෙනවා” – ඇමති ප්‍රසන්න

සංචාරක කේෂ්ත්‍රයේ නියතු වූවන්ට සහන සැලසීමේ රජයේ සහන පැකේජය ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ප්‍රායෝගික ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ අනුව දැනටමත් මේ පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරයාට හා අදාල නිලධාරියාට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බව ඔහු අවධාරණය කරයි.

කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත් සංචාරක කේෂ්ත්‍රයේ නියතු වූවන්ට විශේෂ සහන පැකේජයක් පහුගිය කාලයේදී කැබිනට් මණ්ඩලයේදී අනුමත විය. ඒ අනුව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන්ට එක්වරක් පමණක් රු.20,000ක දීමනාවක් ලබාදීමටත් අධිකාරියේ ලියාපදිංචි රියදුරන්ට එක්වරක් පමණක් රු.15,000ක දීමනාවක් ගෙවීමටත් මෙම සහන පැකේජය යටතේ අනුමත වී තිබුණි.

එහෙත් පහුගිය මැතිවරණ සමයේදී මැතිවරණ කොමසාරිස්වරයා මෙම දීමනාව ගෙවීමට සීමා පණවා තිබුණි. එහෙත් තමා නැවත සංචාරක ඇමතිවරයා ලෙස දිවුරුම් දීමත් අදාළ දීමනාව නියමිත පරිදි සිදුකරන ලෙස අමාත්‍යාංශ නිලධාරීන් උපදෙස් දුන් බවත් අමාත්‍යවරයා පවසයි.

මෙම සහන පැකේජ යටතේ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති සංචාරක මාර්ගෝපදේශකයන් 1802 කු රු.20,000ක දීමනාව දැනටමත් ලබාගෙන තිබේ. ඊට අමතරව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක රියදුරන් 76 දෙනෙකු සඳහා රු.15,000ක දීමනාව ලබා දී ඇත.

ඒ අනුව මෙම දීමනාව ගෙවීමේ කටයුතු ද ඉදිරි මාසයක කාලය තුල අවසන් කරන ලෙස අදාළ අංශ වලට උපදෙස් ලබාදුන් බවද ඇමතිවරයා සඳහන් කරයි.

මේ අතර, සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල් හා සංචාරක නියෝජිත ආයතන, ලියාපදිංචි සංචාරක නිකේතන, අවන්හල් වැනි ආයතන වල සේවික සේවිකාවන්ගේ වැටුප් ගෙවීම සඳහා 4%ක සහන පොළියකට ණය මුදලක් ලබාදීමේ කටයුතු ද කඩිනම් කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ හා  මහබැංකුවේ නියෝජිතයන්ට දැනුම් දුන් බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එසේම මෙම සහන පැකේජයේ වර්තමාන ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටද අපේක්ෂා කරන බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Views: 28