SME ව්‍යාපාර අන්තර්ජාලය හරහා ලියාපදිංචිය ගැන Advocata ඇගයීමට

මෙරට කුඩා හා ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි කිරීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කර ඇති වූ යෝජනාව ව්‍යාපාර ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය සඳහා ඉතාම සාධනීය යෝජනාවක් බව ඇඩ්වොකාටා ආයතනය (Advocata Institute) පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය මේ පිළිබඳව සඳහන් කර සිටියි. ඒ අනුව මෙම ක්‍රමය හරහා කුඩා හා ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර වෙත සිය ලියාපදිංචිය පහසු වෙනු ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.

“ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් කුඩා හා ක්ෂුද්‍ර ව්‍යාපාර අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි කිරීමට කර ඇති යෝජනාව Advocata ආයතනය ඇගයීමට ලක් කරනවා. එම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබෙනු ඇති බවට  අප විශ්වාස කරන අතර එම යෝජනාව සම්මත වීමෙන් අනතුරුව  දැනට ලියාපදිංචි වී ඇති සහ ලියාපදිංචි වී නොමැති ක්ෂුද්‍ර  හා කුඩා ව්‍යාපාර පහසුවෙන් ලියාපදිංචි කිරීමට ශ්‍රී ලාංකික  ව්‍යවසායකයන්ට අවස්ථාව ලැබේ.”

එසේම එමඟින් දැනට බැංකු මගින් ණය ලබා ගැනීම සහ  මූල්‍ය පද්ධතියට සම්බන්ධ වීමට කුඩා හා ක්ෂුද්‍ර ව්‍යාපාරිකයන්ට ඇති ප්‍රධානතම බාධකය ඉවත් වනු ඇති බව සිය විශ්වාසය බවත් ඇඩ්වොකාටා ආයතනය පවසයි. 

“අප ආයතනය  දිවයින පුරා සිදුකළ කළ සමීක්ෂණයකින් තහවුරු වූයේ  ක්ෂුද්‍ර හා කුඩා ව්‍යාපාරිකයන් සඳහා අනවශ්‍ය රෙගුලාසි මගින් ව්‍යාපාර පවත්වාගෙන යාම අධෛර්යමත් කිරීමට සහ ව්‍යාපාර ඉදිරියට කරගෙන යාමට විශාල  බාධාවන් ගණනාවක් පවතින බවයි. ව්‍යාපාර ලියාපදිංචි කිරීමට ඇති සංකීර්ණ ක්‍රියාපටිපාටිය සහ  ව්‍යාපාර ලියා ලියාපදිංචි කිරීමට ඉල්ලා සිටින ලියකියවිලි වල  නොගැලපීම් සහ සංකීර්ණතා ව්‍යාපාර ලියාපදිංචි කිරීමට ප්‍රබල බාධාවක් බව එම සමීක්ෂණයෙන් අනාවරණය වුණා.”

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තොරතුරුතුරු වලට අනුව ශ්‍රී ලංකාවේ දැනට පවතින සම්පූර්ණ  ව්‍යාපාර වලින් 63.2% ක් ඒක පුද්ගල ව්‍යාපාර වුවත්  ශ්‍රී ලංකාවේ දැනට ඇති ක්ෂුද්‍ර ව්‍යාපාර වලින්  45% කුත් කුඩා ව්‍යාපාර වලින් 10%කුත් තවමත් ලියාපදිංචි වී නොමැත.

එමෙන්ම  ශ්‍රී ලංකාවේ සමස්ථ සේවා නියුක්තියයෙන්  27.1%  සපයන්නෙත් ක්ෂුද්‍ර, කුඩා හා ඒක පුද්ගල ව්‍යාපාර‍යි. ඒ අනුව ඒක පුද්ගල ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර අන්තර්ජාලය ඔස්සේ E-Registry  ක්‍රමයක් තුළින් ලියාපදිංචි  කිරීමට සැලසීමෙන් ක්ෂුද්‍ර හා කුඩා ව්‍යාපාර බොහොමයකට ඇති ව්‍යාපාර ලියාපදිංචි කිරීමට ඇති බාධාව ඉවත් වීම පිළිබඳ ප්‍රතිසංස්කරණය ඉතාම සාධනීය බවද එම ආයතන පෙන්වා දෙයි. 

“ක්ෂුද්‍ර හා කුඩා ව්‍යාපාර  මුහුණ දෙන නීති සහ රෙගුලාසි  පිළිබඳ  Advocata ආයතනය (Advocata Institute) ඉදිරිපත් කළ  “පොඩි බිස්නස් පොඩි කරන රතු පටි රෙගුලාසි” [“Barriers to Micro and Small Enterprises in Sri Lanka”]  වාර්තාව https://www.advocata.org/ වෙබ් අඩවිය ඔස්සේ  කියවිය හැකි අතර  ක්ෂුද්‍ර හා කුඩා ව්‍යාපාර මුහුණ දෙන නීති සහ රෙගුලාසි පිළිබඳ සවිස්තර වාර්තාවක් එහි ඇතුළත්ය.” ඇඩ්වොකාටා පවසයි.

දිවයින පුරා විහිද සිටින  ක්ෂුද්‍ර හා කුඩා ව්‍යාපාරිකයන් සමීක්ෂණයට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරිපත් කළ එම වාර්තාවේ මූලිකම නිර්දේශයක් වූයේ ක්ෂුද්‍ර හා කුඩා ව්‍යාපාරිකයන්ට පහසුවෙන්   ව්‍යාපාර  ලියාපදිංචි කළ හැකි ආකාරයෙන් E- registry ක්‍රමවේදයකි.

ඒ අනුව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ ඇති යෝජනාවට සුභ පතන බවත්, ව්‍යාපාර ලියාපදිංචි  කිරීමේදී ඉල්ලා සිටින ලියකියවිලි තවදුරටත් සරල කරන ලෙසත් එම ක්‍රමවේදය ශ්‍රී ලංකාවේ පුද්ගලික (Private limited company) ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ දී අනුගමනය කරන ක්‍රමවේදය  හා සමාන හා සමපාත කරන ලෙසත් සියලු ප්‍රතිපත්ති සම්පාදකයන් ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් ඇඩ්වොකාටා සඳහන් කරයි.

“ව්‍යාපාර ලියාපදිංචි කිරීම සරල සහ පහසු කිරීම සඳහා ගෙන එනු ලබන ප්‍රතිසංස්කරණ, කාර්යක්ෂම සහ ඵලදායි ව්‍යාපාර පරිසරයක් නිර්මාණය කිරීමට රජය දරන උත්සාහයට මහත් පිටු පිටුවහලක් වනු ඇති බව අපගේ විශ්වාසයයි.” ඇඩ්වොකාටා ආයතනය අවසන් වශයෙන් පවසා සිටියි.

Visits: 71