ආරක්ෂිත ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවට ලෝක සංචාරක කවුන්සිලයෙන් මුද්‍රාවක්

සංචරණය සදහා ආරක්ෂිත රටක් ලෙස සහතික කරන මුද්‍රාව ලෝක සංචාරක කවුන්සිලයෙන් (WTTC) ශ්‍රී ලංකාව වෙත පසුගියදා හිමි වූ බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වා දී ඇති ආරක්‍ෂිත ප්‍රොටෝකෝලයන් සමඟ සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් නියම කර ඇති ප්‍රමිතීන් හඳුනා ගැනීම මෙම මුද්‍රාව ප්‍රදානයට හේතුව වී තිබේ.

COVID-19 වසංගතය මධ්‍යයේ සංචාරය කිරීමට වඩාත් සුදුසු ගමනාන්තයක් ලෙස දිවයින දෙස බලන සංචාරකයින් අතර මෙය විශ්වාසය තහවුරු කරන අතරම, ආරක්ෂිත සංචාරක මුද්‍රාව මගින් ලෝක සංචාරක කවුන්සිලයේ ආරක්ෂිත සංචාරක ප්‍රොටෝකෝල සමඟ පෙළ ගැසී ඇති ගෝලීයව ගලා යන සෞඛ්‍ය සහ සනීපාරක්ෂක ප්‍රොටෝකෝලයන් උනන්දුවෙන් අනුගමනය කරන දේපල සහ ව්‍යාපාර හඳුනා ගැනීමටත් ඔවුන්ට ඉඩ සලසන බවද එම අධිකාරිය සඳහන් කරයි.

මේ පිළිබඳව අදහස් දක්ව ශ්‍රී ලංකා සංචාරක සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය, “කොවිඩ් -19 සමඟ සටන් කිරීමේදී  ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම සාර්ථකත්ව අනුපාතයන්ගෙන් එක් රටක් වන අතර, ආරක්ෂිත සංචාර සඳහා ආදර්ශමත් ගමනාන්තයක් ලෙස ස්ථානගත වී තිබේ” යනුවෙන් අවධාරණය කළාය.

විශේෂයෙන්ම සංචාරකයින්ට ඔවුන්ගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් සංචාරකයින්ට සුවිශේෂී අත්දැකීම් ලබා දිය හැකි සංචාරක ගමනාන්තයක් ලෙස දිවයින ඉස්මතු වී ඇති බව ඇය තවදුරටත් පැවසුවාය. 

එසේම සංචාරකයින්ගේ සංචාරයේ සියලු අංගයන් පිළිබඳව සහ ජාත්‍යන්තර සංචාරකයින් පිළිගැනීමට ශ්‍රී ලංකාව දැන් සූදානම්ව සිටින බවත්, අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සකස් කර ඇති බවත් ඇය සඳහන් කරයි.

ලෝක සංචාරක කවුන්සිලයේ (WTTC) හි සේෆ් ට්‍රැවල්ස් මුද්‍රාව මෙවැනි ආකාරයේ පළමු වැන්න වන අතර එය විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ කෝවිඩ් -19 හි ප්‍රබලතාවන්ට එරෙහිව සටන් කිරීම සඳහා ය. එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය (UNWTO) විසින් පිළිගෙන ඇති මෙම මුද්‍රාව මඟින් සංචාරකයින්ට ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරමින් ලොව පුරා සංචාරය කිරීමට ඉඩ සැලසේ.

මේ සමගම ඉන්දුනීසියාව, ඩුබායි, ටැන්සානියාව, පෘතුගාලය, මෙක්සිකෝව, කැරිබියානු දූපත්, බාර්සිලෝනා, මැඩ්රිඩ්, තුර්කිය, බල්ගේරියාව, ජැමෙයිකාව, මොරිෂස්, ඔන්ටාරියෝ, සවුදි අරාබිය, රුවන්ඩාව ඇතුළු ප්‍රමුඛ පෙලේ ගමනාන්තයන් අතරට ශ්‍රී ලංකාවද එක්විය. එසේම මෙම රටවල COVID-19 මාර්ගෝපදේශ ලෝක සංචාරක කවුන්සිලය විසින් සකස් කරන ලද ඒවාට අනුකූල විය යුතු බවත් සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මග පෙන්වීම මත ක්‍රියාත්මක කරන ලද මෙහෙයුම් මාර්ගෝපදේශ ශ්‍රී ලංකාව තුළ කොවිඩ් -19 ප්‍රජා ව්‍යාප්ත වීමේ අවදානම අවම කිරීම සඳහා සකස් කර ඇති අතර සංචාරකයින්ට අනවශ්‍ය අපහසුතාවයන් මෙමගින් මඟහරවා ගත හැකිය.

ලෝක සංචාරක කවුන්සිලය (WTTC)  විසින් වලංගු කරන ලද කොවිඩ් -19 ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූලව තක්සේරු කිරීමෙන් අනතුරුව පෞද්ගලික අංශයේ සියලුම සංචාරක හා ආගන්තුක සත්කාර සම්බන්ධ පාර්ශවකරුවන්ට ආරක්ෂාව පිළිබඳ මුද්‍රාවක් සැපයීමට සංචාරක සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටී. ආරක්ෂක මුද්‍රාවක් ව්‍යාපාරික ආයතනවලට අගය එකතු කිරීමක් මෙන්ම පශ්චාත්-කොවිඩ් -19 ලෝකයක ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා සහතිකයක් ලෙස දෙගුණයක ප්‍රතිලාභයක්ද ලබා දෙනු ඇතැයිද අධිකාරිය සඳහන් කරයි.

Visits: 78