පහත වැටුණු දර්ශක මහ බැංකු තීරණයෙන් යළි ඉහළ නගී

අද (2020 අගෝස්තු 20දා) සදහා කොළඹ කොටස් වෙළෙපොළ ගනුදෙනු ආරම්භවීමත් සමගින්ම ප්‍රධාන පෙළේ ලැයිස්තුගත සමාගම් වන එල්ඕඑල්සී පීඑල්සී, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී, එක්ස්පෝ ලංකා පීඑල්සී සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්  පීඑල්සී යන සමාගම්වල කොටස් අලෙවි කිරීමක් දක්නට ලැබීමත් සමගින්ම දර්ශක යම් ඍණ අගයකට පත් වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

එහෙත් දිනයේ ගනුදෙනු නිමාවට ආසන්න වෙත්ම එම සමාගම් කොටස් සදහා වන මිලදී ගැනීම් ඉහළ යමින් දර්ශක යළිත් ධන අගයකට පත්ව තිබේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවත්නා මට්ටමේම පවත්වාගෙන යාමට තීරණය කිරීමත්, ක්‍රෙඩිට් කාඩ්පත්, උකස් ණය සදහා වන පොලී අනුපාතික මෙන්ම ගිවිසුම්ගත තාවකාලික බැංකු අයිරා සදහා වන පොලී අනුපාත අඩු කිරීමට ගත් තීරණයත් සමගම ආයෝජකයන්ගේ විශ්වාසය ඉහළ නැගීමක් සිදුව තිබේ.       

ඒ අනුව අද (2020 අගෝස්තු 20) දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය (ASPI) මෙන්ම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකයද ධන අගයක් ගෙන තිබුණි.  

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,329.43 ත් ඒකක 5,365.67 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,360.28ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (අගෝස්තු 19දාට) සාපේක්ෂව එය ඒකක 9.25 ක් එනම් +0.17%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකින් පසුව පැමිණි එකඟතාවකට අනුව සිදු වූ ගනුදෙනු හරහා සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී යන සමාගම් අද දිනයේදී සිදු කළ ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 7%ක් සඳහා දායකත්වයක් ලබා දී ඇත.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 104ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 65ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කොමර්සල් ලීසිං ඇන්ඩ් කම්පැනි පීඑල්සී CLC (+4.1), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+2.1), සිලෝන් කෝල්ඩ් ස්ටොර්ස් පීඑල්සී CCS (+1.7), ඩී.එෆ්.සී.සී බැංකුව පීඑල්සී DFCC (+1.2), එන්ඩීබී බැංකුව පීඑල්සී NDB (+1.1), එල්ඕඑල්සී පීඑල්සී LOLC (-3.3), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-3.1), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-2.2), බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (-1.2)  සහ එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-1.1) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,371.87 ක අගයක් ගත් අතර, එය ඊයේ (අගෝස්තු 20) දිනයට සාපේක්ෂව ඒකක 1.58 ක එනම් 0.07%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.04ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ දිනයේ වාර්තා කළ රුපියල් බිලියන 3.82 ට සාපේක්ෂව 47%ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.52 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 11.52%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 29.6ක් ලෙස සටහන් විය. එසේම  සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 294.5ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 264.9කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 29.21ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හේකාර්බ් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 11.71කි. එසේම සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 150.5ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 555ක් සඳහා බැංකු අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 27% ක අගයක් ගෙන තිබේ. එසේම විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් සහ ප්‍රාග්ධන භාණ්ඩ එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 464ක සහ රුපියල් මිලියන 327ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 432