ජාතික ක්‍රීඩා කවුන්සිලයට පත් වූ ව්‍යාපාරිකයන්/සමාගම් ප්‍රධානීන්

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපතිවරයා සහ කමිටු සාමාජිකයන් 14 දෙනා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පත් කිරීම අද දිනයේදී සිදු විය. ක්‍රීඩාවේ පවතින ගැටලු නිරාකරණය කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබා දීම වෙනුවෙන් මෙම ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයන් පත් කෙරී තිබේ.

එහිදී එම කවුන්සිලයේ සභාපතිවරයා ලෙස මෙරට සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මහතා පත් කෙරිණි. ඔහුට අමතරව මෙරට ප්‍රධාන පෙළේ චරිත රැසක්ම එහි කමිටු සාමාජිකයන් ලෙස පත් වී තිබේ. ඒ අතර මෙරට ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන්ට අමතරව ව්‍යාපාරිකයන් සහ සමාගම් ප්‍රධානීන් ඇතුළු පිරිසක් සිටීමත් විශේෂත්වයකි.

ඒ අනුව එහි සභාපති ධුරය දරන මහේල ජයවර්ධන සහ එහි කමිටු සාමාජික කුමාර් සංගක්කාර කෑම සූත්‍ර අවන්හල් ජාලයේ සම නිර්මාතෘවරුන් වෙයි.

එසේම සාමාජික කස්තුරි විල්සන් චෙල්ලරාජා ව්‍යාපාරික කාන්තාවක වන අතර හේමාස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරිනියද වෙයි.

කමිටු සාමාජික ධාවන ශුර ඩිලන්ත මාලගමුව ඩිලන්ගෝ සන්නාමයේ නිර්මාතෘවරයාය. කමිටු සාමාජික රොහාන් ප්‍රනාන්දු මහතා වර්තමානයේ ශ්‍රී ලංකා ටෙලිකොම්හි සභාපතිවරයාය. එසේම ඔහු හෙලදිව් තේ සන්නාමයේ නිර්මාතෘවරයාද වෙයි.

ඩයලොග් ආසිආටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සුපුන් වීරසිංහ මහතාද මෙම ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයෙකි. ඔහු ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ මෙන්ම ස්ලින්ටෙක් (පෞද්) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි.

කමිටු සාමාජික සන්ජීව වික්‍රමනායක මහතා ඊ-විස් සමූහ සමාගම්හි සහ ටොපෑන් ෆෝර්ම් කලම්බු ලිමිටඩ් හි සභාපතිවරයා වෙයි. ලංකාවේ පළමු පරිගණක යන්ත්‍ර නිපදවීමේ කර්මාන්තශාලාව ආරම්භ කළේ ඔහුය.

මාස් සමූහ ව්‍යාපාරයට අයත් මාස් ඉන්ටිමේට්ස්හි නිෂ්පාදන අධ්‍යක්ෂ රුවන් කෑරගල මහතාද ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයෙකි.

ප්‍රවීණ පිහිණුම් ක්‍රීඩක ජුලියන් බෝලිං, පැරාලිම්පික් ක්‍රීඩක මේජර් ජනරාල් රජිත අම්පෙමොහොට්ටි, ක්‍රීඩා  නීතීඥ රොවෙනා සමරසිංහ, ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා, පැසිපන්දු ක්‍රීඩාක යස්වන්ත් මුත්තෙට්ටුවෙගම, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජේ.එස්.එස්. එදිරිසූරිය සහ ටෙනිස් ක්‍රීඩිකා තියුමි අබේසිංහ යන පිරිස් අනෙකුත් සාමාජිකයන් වෙයි.

නාමිකව උපදෙස් පමණක් ලබා දෙන ක්‍රීඩා කවුන්සිලයක් වෙනුවට වඩාත් ශක්තිමත් කාර්ය ශූර, ශ්‍රී ලංකාවට වඩාත් ඵලදායී ප්‍රතිඵල හා ජයග්‍රහණයන් අත්කරදීම සඳහා ක්‍රියාකාරී බලතල සහිත නව ජාතික ක්‍රීඩා කවුන්සිලයක්  ලෙස මෙම මෙම කවුන්සිලයට කටයුතු කළ හැකි බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අභිනව ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයන් ලෙස තේරී පත් වූ ව්‍යාපාරිකයන්/සමාගම් ප්‍රධානීන් ඇතුළු සියලු දෙනා වෙතම ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ වෙබ් අඩවියේද උණුසුම් සුභපැතුම් එක් කෙරේ.

Visits: 61