ආර්ථික වර්ධන වේගය ඍණ වීම ගැන මහ බැංකුවත් – සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවත් අතර අභ්‍යන්තර අර්බුදයක්

කොවිඩ්-19 වසංගතයේ බලපෑම නිසා 2020 වසරේ පළමු කාර්තුව තුළ මෙරට ආර්ථික වර්ධන වේගය -1.6%ක් බවට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති නිල දත්ත සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී. ලක්ෂ්මන් මහතා පවසයි.

අද පෙරවරුවේදී මහ බැංකුවේදී පැවැත්වුණු මහ බැංකු මුදල් ප්‍රතිපත්ති විවරණ මාධ්‍ය හමුවේදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධිපතිවරයා මේ බව පවසා සිටියේය.

විශේෂයෙන්ම මේ වසරේ පළමු කාර්තුවේ දින 10ක් සඳහා පමණක් කොවිඩ්-19 වසංගතයේ බලපෑම එල්ලවීමත් ඒ හරහා රටෙහි ආර්ථික වර්ධන වේගය ඍණ වීමත් යන කාරණාව ගැටලුවක් බව එහිදී මාධ්‍යවේදීන් අධිපතිවරයාගෙන් විමසා සිටියේය. මහ බැංකුව පවා මීට පෙර එය අපේක්ෂා නොකළ අවස්ථාවක් බවට පවසා තිබුණි.

ඊට පිළිතුරු ලබා දුන් අධිපතිවරයා “මම හිතනවා මෙම වාදයට මෙතැනදී විවෘත වීම එතරම් අවශ්‍ය නැහැ කියලා. මෙතැනදී නිල වශයෙන් දැනට පිළිගැනෙන්නේ රජයේ නිල සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර තිබෙන සංඛ්‍යාව. ඒ පිළිබඳව අපි අභ්‍යන්තර වශයෙන් කරුණු සලකා බලලා, සාකච්ඡා කරලා, වාද විවාද කරලා, නමුත් ඒ අය ඔවුන්ගේ අංක ඉදිරිපත් කරලා තිබෙනවා. අපට සිද්ධ වෙනවා ඒවා නිල සංඛ්‍යාලේඛන වශයෙන් පිළිගන්න. ඒ ගැන වාද විවාද කිරීම මාධ්‍යයට භාර කරනවා.” යනුවෙන් පවසා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධිපතිවරයා “මේ කාරණය විතරක් සඳහන් කරන්නම්. මෙවැනි ප්‍රශ්න ඉදිරියේදී ඇති නොවෙන පරිදි, අපි අන්‍යෝන්‍ය සාකච්ඡාවක් මගින් අපේ ආයතන දෙකත්, මේ සම්බන්ධයෙන් කටයුතු කරන වෙනත් රජයේ ආයතනත් සම්බන්ධ කරගෙන ගණනය කිරීමේ ක්‍රම පිළිබඳ යම් කිසි එකඟතාවකින් කටයුතු කිරීමට, නිල ආයතනික ක්‍රියාමාර්ගයක් ගොඩනැගීමට කටයුතු කරනවා.” යනුවෙන් සඳහන් කළේය.

Visits: 102