අපනයන ප්‍රවර්ධනයට ලංකා වාණිජ මණ්ඩලයෙන් ‘අන්තර්ජාල වෙළෙඳ පොළක්’

ලංකා වාණිජ මණ්ඩලය මෙරට සමාගම් වෙත අපනයන ප්‍රවර්ධනය සඳහා සහායක් ලබා දීමේ දැක්මෙන් යුක්තව ‘අන්තර්ජාල වෙළෙඳ පොළක්’ බිහි කිරීම සඳහා එපික් ලංකා ටෙක්නොලොජීස් (පෞද්) සමාගම සමගින් එකඟතාවකට පිවිසීමට කටයුතු කළ බව  පවසයි. ඒ අනුව සකස් කෙරෙන මෙම වේදිකාව වාණිජ මණ්ඩලයේ ඉ-වානිජ පිවිසුම වන https://bizinfosrilanka.lk හා සම්බන්ධ බවද ලංකා වාණිජ මණ්ඩලය පවසයි.

මෙහිදී ලංකා වාණිජ මණ්ඩලය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී මන්ජුල ද සිල්වා මහතා සහ එපික් ලංකා ටෙක්නොලොජීස් සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී තරීන්ද්‍ර කල්පගේ යන මහත්වරුන් එකඟතාවට අත්සන් තබා තිබේ.

හඳුන්වාදුන් මෙම නවතම පිවිසුමත් සමගින්ම මෙරට ක්‍රියාත්මක පරිසරයට, සමාජයට සහ ආර්ථිකයට ප්‍රතිලාභ අත් කරගෙන දෙන වඩාත් තිරසාර නිෂ්පාදන නිපදවීමේ යෙදී සිටින සමාගම් වෙත සිය කටයුතු ප්‍රවර්ධනය සඳහා අවස්ථාව  හිමි වන බව ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මන්ජුල ද සිල්වා මහතා පවසයි.

“ගෝලීය ආර්ථිකය වර්ධනය වෙද්දී, අපේ දේශීය ව්‍යාපාර වෙත  එම වෙළෙඳපොළ තුළ තරගයක් ලබා දීමට අවස්ථාව හිමි වීම අතිශය වැදගත්. මෙලෙස ගෝලීය ආර්ථිකය තුළ ව්‍යාපාරික අවස්ථාවන් තවදුරටත් පුළුල් කිරීම සඳහා හඳුන්වා දෙන විකල්පයක් ලෙස ලංකා වාණිජ මණ්ඩලය මෙම නව අන්තර්ජාල වෙළෙඳ පොළ ඉදිරිපත් කර තිබෙනවා.” යනුවෙන්ද ඒ මහතා පවසයි.

මෙහිදී අදහස් දක්වන එපික් ලංකා ටෙක්නොලොජීස් (පෞද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තරීන්ද්‍ර කල්පගේ මහතා, මෙලෙස සිය සමාගම මගින් හඳුන්වාදී තිබෙන Doxpro Shopex අන්තර්ජාල වෙළෙඳ පොළ මාදිලි තෝරා ගනිමින් ලංකා වාණිජ මණ්ඩලය එපික් ටෙක්නොලොජීස් සමාගම සමගින් එක්ව කටයුතු කිරීමට තීරණය කිරීම තම සමාගමට ගෞරවයක් බව පවසා සිටියි.

“මෙලෙස වඩාත්  ඉහළ හැකියාවන්ගෙන් යුත් මෙම Doxpro Shopex අන්තර්ජාල වෙළෙඳ පොළ වේදිකාව යොදා ගැනීමත් සමගින්ම ලංකා වාණිජ මණ්ඩලයට වඩාත් සාර්ථක වෙළෙඳ පොළක්  බිහි කිරීමට අවස්ථාව ලැබෙනවා.” යනුවෙන් පවසයි.

විශේෂයෙන්ම ජිනීවා නුවර පිහිටි ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයේ දත්ත අනුව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය සහ ස්පාඤ්ඤය යන යුරෝපා සංගම් රාජ්‍යයන් හි වෙළෙඳ පොළ තුළ තිරසාර නිෂ්පාදන ප්‍රභවයන් වෙත වැඩි අවස්ථාවක් හිමිව තිබෙන බවත් ඔහු පෙන්වා දෙයි. එහිදී පරිසර හිතකාමී නිෂ්පාදන, සාධාරණ සහ සදාචාරවත් වෙළෙඳාම, සැපයුම් සමාගම්වල සුදුසු රැකියා යනාදිය හේතුවෙන් දැවැන්ත පාරිභෝගික සහයෝගයක් ලැබෙන බවත්, ඉදිරි වසර පහක කාලය තුළදී මෙවැනි ව්‍යාපාර කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇති බවත් පවසයි.

මෙම අන්තර්ජාල අලෙවි වේදිකාව ලබන ඔක්තෝබර් මාසයේදී පමණ දියත් කිරීම සැලසුම වී තිබේ. එහිදී දේශීය අපනයනකරුවන්ට සිය නිෂද්පාදන ප්‍රභවයන් මෙම අන්තර්ජාල ක්‍රමවේදය හරහා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර, ලංකා වාණිජ මණ්ඩල සිය ප්‍රාදේශීය වාණිජ මණ්ඩල සහ අලෙවි සංගම් සමග සමීපව කටයුතු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි සැපයුම්කරුවන් ආකර්ෂණය කරගැනීමටත් කටයුතු යොදන බව පවසයි.

මෙලෙස අන්තර්ජාල වෙළෙඳ පොළ වෙත ඇතුළත් කෙරෙන නිෂ්පාදන පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍ය හරහාද ප්‍රවර්ධනයට ලක් කෙරෙන අතර, විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකාවේ රාජතාන්ත්‍රික මෙහෙයුම් කාර්යාල හරහා, ශ්‍රී ලංකාවේ පිහිටි විදෙස් රාජතාන්ත්‍රික මෙහෙයුම් කාර්යාලය හරහා සහ ලොව පුරා පිහිටි වෙළෙඳ ප්‍රවර්ධන සංවිධාන 130ක් පුරාද ඒවා ප්‍රවර්ධනය කෙරෙන බවත් ලංකා වාණිජ මණ්ඩලය පවසයි.

මීට අමතරව මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සහ කාන්තා ව්‍යවසායකයන්ට මෙම අන්තර්ජාල වෙළෙඳපොළ හා ලියාපදිංචි වන ලෙසත්, ඒ හරහා සිය නිෂ්පාදන අපනයනකරුවන් වෙත ප්‍රවර්ධනය කරමින් මෙම අගය දාමයේ හවුල්කරුවන් බවට පත්වන ලෙසත් ලංකා වාණිජ මණ්ඩලය උනන්දු කරවයි. ඒ සඳහා වඩාත් ඉහළ කාර්යයක් සිදු කිරීමේ අරමුණින් ලංකා වාණිජ මණ්ඩලය මෑතකදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙනුවෙන් වන මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කර තිබේ.

Visits: 61