ක්‍රෙඩිට් කාඩ් පොළී 18%කට, රන් ණය පොළී 10%කට අඩුවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඊයේ (අගෝස්තු 19) වැනිදා රැස් වී සිදුකළ සාකච්ඡාවකදී ගත් තීරණයකට අනුව ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වන උපරිම වාර්ෂික පොළී අනුපාතය 18% දක්වා අඩු කිරීමටත්, රන් ණය සඳහා වන උපරිම වාර්ෂික පොළී අනුපාතය 10% දක්වා අඩු කිරීමත් තීරණය කළ බව මහ බැංකුව පවසයි.

මේ අතරම පෙර සැකසුම් කළ තාවකාලික බැංකු ණය අයිරාවන් සඳහා වන උපරිම වාර්ෂික පොළී අනුපාතයද 16% ක් දක්වා අඩු කිරීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇත.

රටෙහි වර්තමාන සාර්ව ආර්ථික සංවර්ධනයන් පිළිබඳව සලකා බලමින්, දැනට පවත්නා නිත්‍ය තැන්පතු පහසුකම් පොළී අනුපාතය සහ, නිත්‍ය ණය පොළී අනුපාත යන සීමාවන් පිළිවෙලින් 4.50%ත් 5.50%ත් යන මට්ටමේම තවදුරටත් පවත්වාගෙන යාමට ගත් තීරණයට අනුකූලව මෙම තීරණය ගත් බව මහ බැංකුව සඳහන් කරයි.

විශේෂයෙන්ම මෙලෙස පොළී අනුපාත අඩු මට්ටමක පවතිද්දීත් ඇතැම් මූල්‍ය සේවා සඳහා වන බැංකු ණය පොළිය තවමත් ඉහළ අගයක පවතින බවට හඳුනාගැනීම මේ සඳහා හේතුව බව මහ බැංකුව පෙන්වා දෙයි.

මෙම නියාමන කටයුතු පිළිබඳ වන උපදෙස් ඉදිරියේදී නිකුත් කරන බවත්, ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික සහ මූල්‍ය වෙළෙඳ පොළ කටයුතු පිළිබඳව නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් රටෙහි ආර්ථිකය වෙත ලබා දිය හැකි උපරිම දායකත්වය ලබා දීම සඳහා පමාවකින් තොරව කටයුතු කරන බවත් අවධාරණය කර සිටියි.

මේ පිළිබඳව මහ බැංකුව තවදුරටත් තොරතුරු ඉදිරිපත් කරන මුදල් මණ්ඩල ප්‍රතිපත්ති ඇතුළත් මාධ්‍ය හමුව අද පෙරවරු 11.00ට මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.

එහි සමගාමීව සජීවී විකාශය ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ ෆේස්බුක් පිටුව හරහා සිදු වෙයි.

Visits: 141