දෙහිවල සත්වෝද්‍යානයේ සතුන්ගේ මාසික වියදම රු. මිලියන 40යි! සේවක වැටුප් මිලියන 06 යි!

දෙහිවල සත්වෝද්‍යානයේ පවතින වර්තමාන තත්ත්වය පිළිබදව කැබිනට් මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සිය අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා වෙත දැනුම් දුන් බව එම අමාත්‍යාංශය පවසයි. එහිදී කඩිනමින් වාර්තාව යොමු කරන ලෙසත්, ඉදිරි අයවැයට අදාළ යෝජනාද ඉදිරිපත් කරන ලෙසත් අමාත්‍යවරයා ලේකම්වරයාට දන්වා තිබේ.

සත්වෝද්‍යාන හා උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුවේ නිළධාරින් සමග සංචාරක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී ඇමතිවරවයා මේ බව සදහන් කර ඇත. නව රජයේ විෂය පථ වෙන් කිරීමේ ගැසට් පත්‍රයට අනුව සත්වෝද්‍යාන හා උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුව පැවරී ඇත්තේ සංචාරක අමාත්‍යාංශය යටතටය. සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවේ හා උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබද සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව කැදවා තිබුණි.

විශේෂයෙන්ම දෙහිවල සත්වෝද්‍යානයේ සතුන්ගේ කෑම බීම හා වෙනත් අවශ්‍යතා සපුරාලීම සදහා මාසිකව රුපියල් මිලියන 40 කට ආසන්න මුදලක් වැය වන බවත්, සේවක වැටුප් අතිකාල ගෙවිම් සදහා රුපියල් මිලියන 06 ක මුදලක් වැය වන බවත් මෙම සාකච්ඡාවේ දී අනාවරණය වී තිබේ.

එසේම දෙහිවල සත්වෝද්‍යානය පිළියන්දල කහපොල ප්‍රදේශයට ගෙන යාම සදහා ඉදිරිපත්ව ඇති යෝජනාව කෙරෙහිද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ විශේෂ අවධාණය යොමු වුණු බව එම අමාත්‍යාංශය පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අමාත්‍යවරයා, සතුන් කූඩු කර නැරඹීමේ ක්‍රමවේදය වර්තමානයේ දී යල් පැන ගිය ක්‍රමවේදයක් බවත්, ඒ නිසා සත්වෝද්‍යානය නවීන ලෝකයට ගැලපෙන පරිදි සැකසීම අත්‍යවශ්‍යය බවත් පෙන්වා දී තිබේ. එසේම සත්ව හිංසනයක් සිදු නොවන ආකාරයෙන් එය සිදු කළ යුතුය යනුවෙන්ද ඔහු පවසා ඇත.

මේ අතර, හීලෑ අලි ඇතුන් රැක බලා ගැනීම හා පෙරහැර වලට ලබා දීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ සංග්‍රහයක් සැකසීම සඳහාද කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත. එය කඩිනමින් ඇමති මණ්ඩල අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සඳහන් කර තිබේ.

ඒ අනුව හීලෑ අලි ඇතුන් රැක බලා ගැනීම හා පෙරහැර වැනි ජාතික උත්සවවලට අලි ඇතුන් ලබාදීම සම්බන්ධයෙන් සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුව මාර්ගෝපදේශ සංග්‍රහයක් මේ වන විට සකස් කරමින් පවතින බව මෙම සාකච්ඡාවේ දී අනාවරණය වී ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, එම මාර්ගෝපදේශ සංග්‍රහය කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බව පවසා තිබේ. විශේෂයෙන්ම හීලෑ අලි ඇතුන්ට සිදුවන හිංසනය වැළැක්වීමට මෙහි දී ප්‍රමුඛතාව හිමිවිය යුතු බව පෙන්වා දුන් ඇමතිවරයා මේ සම්බන්ධයෙන් වනජීවි ඇමතිවරයා සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද පැවසූ බවද සංචාරක අමාත්‍යාංශය පවසයි.

Visits: 84