කොළඹ රබර් වෙළෙදුන්ගේ සංගමයෙන් රබර් වතු සේවකයන්ගේ දරුවන් 10 දෙනෙකුට ශිෂ්‍යත්ව

පසුගියදා පැවැත්වුණු කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමයේ (CRTA)  101 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට සමගාමීව හඳුනාගත් රබර් වතු කිහිපයක සේවකයන්ගේ දරුවන් 10 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව මුදල් ප්‍රදානයක් සිදු කළ බව එම සංගමය පවසයි.

මෙහිදී ප්‍රදානය කෙරී ඇති ශිෂ්‍යත්වවල වටිනාකම 1,440,000 කි. සී.ඩබ්ලිව් මැකී පීඑල්සී සමාගමේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී ඩබ්ලිව්.ටී. එල්ලාවල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරිණි.

මෙම අවස්ථාවේදී අදහස් දක්වා සිටි කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති අමන්ද වීරසිංහ මහතා, “රබර් කපන්නන්ගෙන් තොරව වෙළෙඳුන්ට පැවැත්මක් නැහැ. ඔවුන් සැබෑ ලෙස දැඩි වෙහෙසක් ගන්නවා. භූගෝලීයව, කාලගුණික තත්ත්වයන්ට මුහුණ දෙමින්, උරගයන්ගෙන් එල්ල වන තර්ජනය සහ වෙනත් සතුන්ගෙන් එල්ල වන තර්ජන මෙන්ම නොයෙකුත් බාධා මධ්‍යයේ ඔවුන් ලබා දෙන මෙහෙය නිසා අපට මේ රබර් මිලදී ගෙන අලෙවි කරන්න හැකියාව ලැබී තිබෙනවා. සංගමයක් ලෙස අප ඔවුන්ගේ මෙම දායකත්වය හඳුනාගෙන ඔවුන්ගේ අවශ්‍යතාව අනුව අපේ වචන ක්‍රියාවට නැංවූ අවස්ථාවක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. මේ දරුවන් අපේ අනාගත බලාපොරොත්තුයි. ඔවුන්ට ලැබුණු මෙම අවස්ථාවෙන් ඔවුන්ගේ ලෝකය වඩාත් ලස්සන තැනක් වේවි.” යනුවෙන් පවසා සිටියි.

Visits: 35