“ශ්‍රී ලංකන් විකුණන්නේ නෑ, පාඩුව අවම කරනවා” – ඇමති ප්‍රසන්න අවධාරණය කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසිසේත් විකුණන්නේ නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ජාතික ගුවන් සමාගමක් රටකට අත්‍යවශ්‍යය බව ගෝඨාභය රාජපක්ෂ රජයේ ස්ථාවරය බවත්, පාඩුව අවම කොට ශ්‍රී ලංකන් ගුවන් සමාගම ජාතික ගුවන් සේවය ලෙස පවත්වාගෙන යාම නව රජයේ ස්ථාවරය බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

කටුනායක පිහිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිළධාරීන් සමග පහුගිය දා (13) පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සඳහන් කළ බව අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙහි දී අදහස් දක්වා ඇති ඇමති ප්‍රසන්න රණතුංග මහතා “ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාබ ලබන ආයතනයක් බවට පත් කරන බව මා කිසිවිටෙකත් පවසන්නේ නෑ. මේ ගුවන් සමාගම ලබන පාඩුව අවම කිරීම තමයි මගේ අරමුණ. මොකද රටකට ජාතික ගුවන් සේවයක් අවශ්‍යයි. එවැනි ජාතික ගුවන් සේවයක් පැවතීම නිසයි අපට කොවිඩ් 19 අසරණ වු විදේශගත සිසු සිසුවියන් වගේම විදෙස්ගත ශ්‍රමිකයන් හා ඔවුන්ගේ පවුල්වල අය මෙරටට ගෙන්වාගන්න පුළුවන් වුණේ.  ඒ නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණා දැමීමට ආණ්ඩුවේ කිසිදු සුදානමක් නෑ.”යනුවෙන් පවසා තිබේ.

වැඩිදුරටත් අදහස් දක්වා සිටි අමාත්‍යවරයා, “සංචාරක අමාත්‍යාංශය යටතේ තමයි ගුවන් තොටුපළ, ශ්‍රී ලංකන්, අපනයන සැකසුම් කළාප තිබෙන්නේ. අපිට කොවිඩ් කොවිඩ් කියලා හැමදාම රට වහලා තියන්නත් බෑ. කොවිඩ් කොවිඩ් කියලා හැමදාම වැඩ නොකර ඉන්නත් බෑ. අපි කැමති වුණත් නැති වුණත් අපිට කොවිඩ් එක්ක ජීවත් වෙන්න වෙලා. ඒ නිසා ඒකට ගැළපෙන වැඩපිළිවෙලක් අපි හදන්න ඕනේ. පහුගිය මාස කීපයේ රටේ තිබුණේ අපේ නොවන අපේ ආණ්ඩුවක්. අපේ ආණ්ඩුවක් තිබුණට වැඩි බලය තිබුණේ විපක්ෂයට. ඒ තිබුණේ භාරකාර ආණ්ඩුවක්. ඒ කාලයේ වැඩි බලය තිබුණ විපක්ෂය අපිට කිසි වැඩක් කරන්න දුන්නේ නෑ.” යනුවෙන්ද පවසා තිබේ.

“පහුගිය ආණ්ඩුව ශ්‍රී ලංකන් එකට ස්වාභාවික මරණයක් ලබා දීමටයි හැදුවේ. ඔවුන්ට ඕන වුණේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකුණලා දාන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්වුණාම තමයි ශ්‍රී ලංකන් වගේ පහුගිය ආණ්ඩුවෙන් විකිණීමට හිටපු ආයතන සුරක්ෂිත වුණේ.”

මේ අතර පහුගිය යහපාලනය කාලේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ සිදු වූ සියලු අක්‍රමිකතා පිළිබද ව පුළුල් පරීක්ෂණයක් සිදු සිදු කරන බවත්, ඒ නිසා කඩිනමින් අභ්‍යන්තර විගණනයක් කරන්න අපි අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පවසා තිබේ.

“ආයතනය එක සේවයකයෙක් ඉවත් කරන්න ලක්ෂ ගාණක් වියදම් කරලා නඩු කියන තත්ත්වයක් තියෙනවා. සාධාරණ හේතුවක් නොමැති එවැනි දීර්ඝ කාලයක් තිස්සේ ඇදෙන ආයතනය පැටලී ඇති නඩු අවසන් කර ගැනීමට පියවර ගත යුතුයි. වෘත්තීය සමිති සහායත් මේ ආයතන පවත්වාගෙන යන්න අවශ්‍යයි. සාධාරණ ඉල්ලීම් වලට ඇහුම්කන් දෙන්න අපි ලෑස්තියි.” යනුවෙන්ද පවසා සිටියේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම දියුණු කිරීම සදහා වසරක ක්‍රියාකාරී සැලැස්මක් සකසන්න. ඉදිරි සති 03 ඇතුළත එම ක්‍රියාකාරී සැලැස්ම සකසා අවසන් කර මටත් රාජ්‍ය ඇමතිවරයා වෙතත් ලබා දෙන්න. එය වසරක් තුළ ක්‍රියාත්මක කල යුතුයි. එම ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක නොකරන ආයතන ප්‍රධානීන් සම්බන්ධයෙන් වග කිය යුතුයි.

ගුවන් සේවා, අපනයන කලාප සංවර්ධන රාජ්‍ය ඇමති ඩි.වි.චානක මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ යන මහත්වරුන් ද මෙහි දී අදහස් දක්වා තිබේ.

Visits: 68