දර්ශන සිල්වා අබාන්ස් ෆිනෑන්ස් CEO ධුරයට

වසර 33 කට අධික කාලයක් මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ අත්දැකීම් සහිත කළමනාකාරුවෙකු වන දියතොටුවේ විදානගේ දර්ශන ද සිල්වා මහතා අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්වීම් ලැබ ඇතැයි එම සමාගම සඳහන් කරයි. 2020 ජූලි 15 වැනිදා සිට මෙම නව පත් කිරීම ක්‍රියාත්මක වන බව අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී සඳහන් කරයි.

පසුගිය ජනවාරි මාසයේ සිට අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සීහි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කළ ඩල්සි අයිවන් බ්‍රෝහියර් මහත්මිය පසුගිය ජූලි 15 වැනිදා සිට ඉන් ඉවත්වීමත් සමග ඇති වූ පුරප්පාඩුව වෙනුවෙන් දර්ශනද සිල්වා මහතා පත් වී තිබේ. මෙම නව පත් කිරීම පිළිබඳව තොරතුරු වාර්තා කිරීම කොවිඩ්-19 හි බලපෑමෙන් තැපැල් සේවාවේ සිදුවූ පමාව නිසා පමා වූ බවද සමාගම සඳහන් කරයි.

සීමාසහිත මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා හි පද්ධති විශ්ලේෂණ වැඩසටහන්කරුවෙකු ලෙස සිය වෘත්තීය දිවිය ආරම්භ කළ දර්ශන ද සිල්වා මහතා පසුව කළමනාකරණ තොරතුරු පද්ධති උපදේශකවරයෙකු ලෙස ඩීඑෆ්සීසී බැංකුවේ කටයුතු කළේය. අනතුරුව කොමර්ෂල් පීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි ණය නිලධාරියා ලෙස සම්බන්ධ වන ඔහු එහි පුරා වසර 13කට ආසන්න කාලයක් කටයුතු කර ඇති අතර, සහකාර සාමාන්‍යාධිකාරීවරයා ලෙස ඉන් ඉවත්ව ඇත.

ආසන්න වසර 10ක කාල සීමාවේදී ඔහු ආර්පිකෝ ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සහ ෆින්ට්‍රෙක්ස් ෆිනෑන්ස් ලිමිටඩ් (මීට පෙර මෙල්ස්ටා රිගල් ෆිනෑන්ස් ලිමිටඩ් ලෙස හැඳින්වුණු) හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙසද කටයුතු කර තිබේ.

කාර්ඩිෆ් මෙට්‍රෝපොලිටන් විශ්වවිද්‍යාලයෙන් කුසලතා සම්මානයක්ද සමගින් එම්බීඒ උපාධියක් හිමි කරගෙන ඇති දර්ශන ද සිල්වා මහතා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ කොටසක්ව පැවැති මූල්‍ය සේවා ඇකඩමියේ ලියාපදිංචි ආයෝජක උපදේශකවරයෙකු ලෙසද සුදුසුකම් ලබා ඇත.

එසේම NIBM ආයතනයෙන් පරිගණක පද්ධති නිර්මාණකරනය පිළිබඳ ඩිප්ලෝමාවක්ද ඒ මහතා සතුය. මීට අමතරව එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ උසස් ඩිප්ලෝමාවක් හදාරා ඇති ඒ මහතා ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් විශ්වවිද්‍යාලයෙන් ක්ෂුද්‍ර මූල්‍ය පිළිබඳ පුහුණු පාඨමාලාවක්ද හදාරා ඇතැයි සඳහන් වෙයි.

Visits: 140