ස්ථාවර රජයක පෙරනිමිති සමග සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 5,200 ඉක්මවයි

ඉදිරියේදී රට තුළ ස්ථාවර දේශපාලන වටපිටාවක් පවත්වාගෙන ගෙන යා හැකි බවට විශ්වාස කළ හැකි ශක්තිමත් රජයක් බිහිවීමත් සමගින්ම අද දිනයේදී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වැඩි ආයෝජක ආකර්ෂණයක් හිමි වී දිනය නිමා වන විට එහි සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 5,200 මට්ටමට වඩා ඉක්ම වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

එහිදී විශේෂයෙන්ම අද දිනයේදී ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සමාගම පෙන්වූ සුවිශේෂී සාර්ථකත්වය මෙන්ම සම්පත් බැංකු කොටස් හරහා බලාපොරොත්තු වූවාට වඩා වැඩි ඉපැයීමක් ලැබීමත්  යන කාරණා සමගින්ම මෙලෙස ආයෝජක විශ්වාසනීයත්වය ඉහළ ගිය බවත් මෙම සමාගම් සඳහන් කරයි.    

ඒ අනුව අද (2020 අගෝස්තු 13) දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය (ASPI) මෙන්ම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකයද ධන අගයක් ගෙන තිබුණි.  

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,230.25 ත් ඒකක 5,255.87 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,235.61ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (අගෝස්තු 12දාට) සාපේක්ෂව එය ඒකක 15.04 ක් එනම් +0.29%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකින් පසුව පැමිණි එකඟතාවකට අනුව සිදු කළ ගනුදෙනුවක් හරහා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම අද දිනයේදී සිදු කළ ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 14%ක් සඳහා දායකත්වයක් ලබා දී ඇත.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 61ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 99ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කොමර්ෂල් බැන්ක් පීඑල්සී COMB (+5.20), සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී CINS (+3.64), හේලීස් පීඑල්සී HAYL (+3.27), ඩිප්පෙඩ් ප්‍රඩක්ස්ට් පීඑල්සී DIPD (+2.66), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+2.35), එල්.ඕ.එල්.සී. පීඑල්සී LOLC (-2.93), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (-1.94), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-1.73), ලයන් බෘවරි සිලෝන් පීඑල්සී LION (-1.65)  සහ කොමර්ෂල් ලීසිං පීඑල්සී ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-1.36) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,297.12 ක අගයක් ගත් අතර, එය ඊයේ (අගෝස්තු 12) දිනයට සාපේක්ෂව ඒකක 19.92 ක එනම් 0.87%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.92ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ දිනයේ වාර්තා කළ රුපියල් බිලියන 2.72 ට සාපේක්ෂව 29%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.46 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 13.58%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 223.78ක් ලෙස සටහන් විය. එසේම  සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 280.64ක අගයක් ගෙන තිබේ.

මේ අතර, දිනයේ දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 56.86 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 26.91ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 74.45 කි. එසේම ඩීඑෆ්සීසී බැංකුව විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 217.45ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් බිලියන 1.77 ක් සඳහා බැංකු දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 65% ක අගයක් ගෙන තිබේ. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ ආහාර, පාන සහ දුම්කොළ ක්ෂේත්‍රය එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 469ක සහ රුපියල් මිලියන 159ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 160