නිව්යෝක්හි විශේෂඥ කළමනාකරණ උපදේශිකාවක් කොමර්ෂල් බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට

බැංකුකරුවෙකු, ප්‍රාග්ධන වෙළෙඳ පොළ විශේෂඥවරියක මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ආසියාවේ  කළමනාකරණ උපදේශක සමාගම්හි ප්‍රධාන විධායක නිලධාරිනියක සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස කටයුතු කළ ජූඩි ලී මෙරට කොමර්ෂල් බැංකුවේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස පත් කරගන්නා බව එම බැංකුව නිවේදනයක් මගින් සඳහන් කර සිටියි.

පසුගියදා රැස් වූ කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණයකට අනුව මෙම නව පත් කිරීම සිදුව තිබේ. ඒ අනුව 2020 අගෝස්තු 13, එනම් අද දිනයේ සිට ඇය මෙලෙස කොමර්ෂල් බැංකුවේ විධායක නොවන/ස්වාධීන නොවන අධ්‍යක්ෂවරියක ලෙස නම් කෙරෙන බව කොමර්ෂල් බැංකුව පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC – International Finance) සහ කොමර්ෂල් බැංකුව අතර පසුගිය ජුනි මාසයේදී ඇති කරගත් එක්සත් ජනපද ඩොලර් මිලියන 50 ක ආයෝජන එකඟතාවයට අනුව මෙම නව අධ්‍යක්ෂ ධුරය සඳහා වන පත් කිරීම සිදුවන්නට බොහෝ දුරට ඉඩ ඇතැයි කොටස් වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස පත්ව එන ජූඩි ලී සතුව එම අවස්ථාව වන විට කොමර්ෂල් බැංකුවේ කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති  බවත් බැංකුව අවධාරණය කර සිටියි.

කොමර්ෂල් බැංකුව සිය නව අධ්‍යක්ෂවරිය පිළිබඳව ඉදිරිපත් කර ඇති විස්තරයට අනුව ඇය මේ වනවිට නිව්යෝක් නුවර පිහිටි ඩ්‍රැගන්ෆ්ලයි එල්එල්සී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරයි. එය ඇයගේ සමහවුල්කාරීත්වය යටතේ 2000 වසරේ පිහිටවූ සමාගමකි.

උපදේශන සමාගමක් වන මේ හරහා එක්සත් ජනපදය, යුරෝපය සහ ආසියාවේ පිහිටි සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල වෙත, ප්‍රධාන විධායක නිලධාරීන් වෙත, ප්‍රධාන මූල්‍ය නිලධාරීන් වෙත සහ ව්‍යාපාර ප්‍රධානීන් වෙත ක්‍රමෝපායික, ආපදා කළමනාකරණය සහ ආයෝජන උපදෙස් ලබා දීම සිදු කරයි. එහිදී සාංගමික, මූල්‍ය ආයතන මෙන්ම රජයන් ඇතුළු සියලුම ක්ෂේත්‍රයක්ම මෙම සමාගම මගින් ආවරණය කරන බවත් පවසයි.

එසේම ජූඩි ලී ඩ්‍රැගන්ෆ්ලයි කැපිටල් වෙන්චර්ස් ආයතනයේද ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කරයි. 2009 වසරේදී පිහිටවුණු මෙම සමාගම මගින් අග්නිදිග ආසියානු කලාපය තුළ පුනර්ජනනීය බලශක්ති තුළ සංවර්ධන සහ ආයෝජන සිදු කරන බවත් පවසයි. මීට අමතරව එම සමාගම මගින් ආසියානු ගනුදෙනුකරුවන් සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ආයෝජන අවස්ථා සංවර්ධනයේද නිරත වන බව සඳහන් වෙයි.

ජූඩි ලී සතුව වාර්ටොන් පාසැලෙන් එම්.බී.ඒ. උපාධියක්ද නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පිළිබඳ පාසැලෙන් ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ උපාධියක්ද  හිමි කරගෙන ඇත. එසේම ඇය ඇය හාර්වර්ඩ් ව්‍යාපාර පාසැල මගින් සංවිධානය කළ %වුමන් ඔන් බෝර්ඩ්ස් වැඩසටහන වෙතද සහභාගි වී තිබේ.

2000 වසරේ සිට නිව්යෝර්ක් නුවර සහ ආසියාවේ ජීවත් වන ජූඩි ලී සිංගප්පූරුවේ කළමනාකරණ විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්යවරියකද වෙයි. ඇය එම විශ්වවිද්‍යාලය තුළ වසර 10ක කාලයක් ගත කර ඇති අතර එහිදී ව්‍යවසාය අවදානම් කළමනාකරණය පිළිබඳව ඉගැන්වීම් සිදු කර ඇත. එසේම ඇය නිව්යෝක් නුවර කොලුම්බියා විශ්වවිද්‍යාලයෙහිදීද අවදානම් කළමනාකරණය පිළිබඳව ඉගැන්වීම් සිදු කර තිබේ.

වර්තමානය වනවිට කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය වන්නේ ධර්ම ධීරසිංහ (සභාපති), එම්.පී ජයවර්ධන (උප සභාපති),  එස් රෙන්ගනාදන් (ප්‍රධාන විධායක නිලධාරී), එස්. ස්වර්ණජෝති (අධ්‍යක්ෂ), මහාචාර්ය ඒ.කේ.ඩබ්ලිව් ජයවර්ධන (අධ්‍යක්ෂ), කේ. ධර්මසිරි (අධ්‍යක්ෂ), ලක්ෂ්මන් නියන්ගොඩ (අධ්‍යක්ෂ), ෂිරෝමාල් කුරේ (අධ්‍යක්ෂ) යන මහත්ම මහත්මීන්ය

Visits: 473