ඡන්ද උණුසුම ළංවීමත් සමග කොටස් වෙළෙඳ පොළ ඉහළට

අද දිනයේ සිදු වූ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු යටතේ බැංකු ක්ෂේත්‍රය මගින් බලාපොරොත්තු වූ පමණටත් වඩා පෙන්නුම් කළ උපයා ගැනීම් මෙන්ම හෙට (අගෝස්තු 05) පැවැත්වීමට නියමිතව 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයත් හේතුවෙන් අද දිනයේ දෙවැනි කොටසේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු කැපී පෙනෙන සාර්ථකත්වයක් පෙන්නුම් කළ බව වෙළෙඳ පොළ තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද (2020 අගෝස්තු 04) දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය (ASPI) මෙන්ම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකයද ධන අගයක් ගෙන තිබුණි.  

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,137.93 ත් ඒකක 5,179.29 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,166.81ක් බවට පත්විය. ඒ අනුව පසුගිය සිකුරාදා (ජූලි 31 දාට) සාපේක්ෂව එය ඒකක 42.55 ක් එනම් +0.83෴ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේදී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, එච්එන්බී ඇෂුවරන්ස් පීඑල්සී සහ ඒ.සී.එල්. කේබල්ස් පීඑල්සී යන සමාගම් පෙර කළ සාකච්ඡා එකඟතාවකට පැමිණ සිදු කළ ගනුදෙනු සමස්ත පිරිවැටුම සඳහා 18%ක දායකත්වයක් සැපයීය.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 112ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 53 ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+6.7), කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී CARG (+4.6), කොමර්ෂල් බැංකුව පීඑල්සී COMB (+3.8), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+3.5), ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී AEL (+2.8), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (-1.6), ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් පීඑල්සී PDL (-1.3), ට්‍රාන්ස් ඒෂියා හොටෙල්ස් පීඑල්සී TRAN (-1.3), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-1.2)  සහ එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-1.1) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,215.08 ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (ජූලි 31ට) සාපේක්ෂව ඒකක 35.43 ක එනම් +1.63%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.20ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (31දා) වාර්තා කළ රුපියල් බිලියන 1.38 සාපේක්ෂව 14%ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.43 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 14.72%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 9.72ක් ලෙස සටහන් විය. එසේම  සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 353.28ක අගයක් ගෙන තිබේ.

මේ අතර, දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 343.56 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 24.38ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 3.00 කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 197.97ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 477 ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ ක්ෂේත්‍රය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 40% ක අගයක් ගෙන තිබේ. එසේම බැංකු සහ ද්‍රව්‍යමය නිෂ්පාදන ක්ෂේත්‍රය එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 210ක සහ රුපියල් මිලියන 170ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 273