පාත්ෆයින්ඩර් පදනම පරිවර්තනය කළ ‘කොවිඞ්-19 වලක්වාලීම හා පාලනය’ අද එළි දකී

පාත්ෆයින්ඩර් පදනමට අනුබද්ධ චීන – ශ‍්‍රී ලංකා සහයෝගීතා අධ්‍යයන මධ්‍යස්ථානය මගින් ‘කොවිඩ්-19 වලක්වාලීම හා පාලනය’ ලෙස සිංහලට පරිවර්තනය කරන ලද ග්‍රන්ථය අද පෙරවරුවේදී  චීන තානාපති කාර්යාලයේ දී  නිල වශයෙන් නිකුත් කෙරෙන බව එම පදනම පවසයි.

වසංගත රෝග සම්බන්ධ චීන මහාචාර්ය සහ ෂැංහයි හි කොවිඞ්-19 ප‍්‍රතිකාර අංශයේ විද්වත් මණ්ඩල ප‍්‍රධානී, වන් හොංග් ජන්ග් මහතා ඇතුළු මණ්ඩලයක් විසින් පළ කරන ලද ‘Prevention and Control of COVID-19’ ග්‍රන්ථය එහි මුල් කෘතියයි. ලක්ෂමන සපරමාදු මහතා එය මෙලෙස සිංහලයට පරිවර්තනය කර ඇත.  

‘කොවිඩ්-19 වලක්වාලීම හා පාලනය’ කෘතියෙහි මෘදු පිටපත https://bit.ly/3hCJQIZ දිගුවෙන් ඩවුන්ලෝඩ් කර කියැවිය හැකිය.

නිවස, එළිමහන, රාජකාරී ස්ථානය යනා දී වශයෙන් විවිධ තැන් වල දී රෝගය වලක්වා ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි ක‍්‍රම විස්තරාත්මකව, හා නිතර විමසන ප‍්‍රශ්න හා උත්තර අනුසාරයෙන් මිත්‍යා සහ සැක සහිත තැන් අනාවරණය කර, පොදුවේ අවබෝධ කරගත හැකි පරිදි මෙම කෘතිය සකස් කර ඇතැයි පාත්ෆයින්ඩර් පදනම පවසයි.

මෙය කියවන්නන් ගේ කුතුහලය සංසිදුවන අතර, දැනුම සම්පාදනය කර, කොවිඞ් -19 වසංගතයෙන් ගැලවෙන මග විද්‍යාත්මකව සහ ඉලක්කගතව තොරතුරු සම්පාදනය කර ඇතැයි සඳහන් වෙයි.

ෂැංහයි කොවිඩ් -19 ප‍්‍රවීණ ප‍්‍රතිකාරක කණ්ඩායමෙහි ප‍්‍රධානියා වන මහාචාර්ය ජන්ග්, ෆුඩාන් විශ්ව විද්‍යාලයේ බෝ වන රෝග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වන අතර චීන වෛද්‍ය සම්මානය මෙන්ම, ෂැංහයි විද්‍යා සහ තාක්ෂණ ප‍්‍රගති සම්මානය ලබා ඇති හෙතෙම 2003 වසරේ දී සාර්ස් රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමෙහි ද, රෝගය වළක්වාලීම් හා පාලන කි‍්‍රයාවලියෙහි ද නිරත වී තිබේ.

මහජන චීන සමූහාණ්ඩුවේ කොළඹ පිහිටි තානාපති කාර්යාලයේ සහ චින කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාර්යාංශයෙහි ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව පාත්ෆයින්ඩර් පදනමට අනුබද්ධ, චීන ශ‍්‍රී ලංකා සහයෝගීතා අධ්‍යයන මධ්‍යස්ථානය, මෙම කෘතිය පරිවර්තනය කර ප‍්‍රකාශයට පත් කළ ලද අතර ඒ සඳහා ෂැංහයි විද්‍යාත්මක සහ තාක්ෂණික ප‍්‍රකාශකයන්ගෙන් නොමද සහයක් ලැබී ඇතැයිද පාත්ෆයින්ඩර් පදනම පවසයි.

Visits: 33