අලාභ ලැබුවත් JKH පළමු අන්තර්කාල ලාභාංශ ගෙවනවාලු

නව කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නිසා ඇති වූ අයහපත් බලපෑම හේතුවෙන් මේ වසරේ පළමු කාර්තුව තුළ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම දරුණු අලාභයක් ලැබුවද, පෙර නිවේදනය කර ඇති පරිද්දෙන්ම කොටසක් සඳහා රුපියල් 0.50 බැගින් වූ පළමු අන්තර්කාල ලාභාංශ ගෙවීම අගෝස්තු 28 හෝ ඊට පෙර සිය කොටස් හිමිකරුවන් වෙත ලබා දෙන බව එම සමාගමේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පවසයි.

මෙහිදී ගෙවනු ලබන මුදල ආසන්න වශයෙන් රුපියල් මිලියන 659ක මුදලක් වන අතර ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. පසුගියදා නිකුත් වුණු එම සමාගමේ 2020 ජූනි 30 වැනිදායින් අවසන් වුණු වසරේ මාස තුනක කාලය සඳහා වන අන්තර්කාල මූල්‍ය ප්‍රකාශනය ඉදිරිපත් කරමින් සභාපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

මෙම ප්‍රකාශනයේ සඳහන් ආකාරයට 2020/21 මූල්‍ය වසරේ මුල් කාර්තුව තුළ දී සමූහය ලබා ගෙන ඇති බදු පෙර ලාභය රුපියල් බිලියන -2.43ක් ලෙස සටහන්ව ඇත. එය පසුගිය 2019/20 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා එම සමූහය ලැබූ රුපියල් බිලියන 1.36ට සාපේක්ෂව දරුණු කඩාවැටීමක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර එම සමාගම් සමූහය මෙම මූල්‍ය වර්ෂය තුළදී ලබා ගෙන ඇති සමස්ත ආදායම රුපියල් බිලියන 21.60ක් බව මෙම මූල්‍ය ප්‍රකාශනය තුළ සඳහන් වෙයි. එය පසුගිය වසරේ මූල්‍ය වර්ෂයේදී සමූහය හිමි කර ගත් රුපියල් බිලියන 31.74ක ආදායම හා සැසඳීමේදී 32%ක අඩුවීමකි.

නව කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමගම රට තුළ ලොක්ඩවුන් සීමා පැනවීම හේතුවෙන් සිය සමූහයේ ව්‍යාපාර මෙහෙයුම් සිදු කිරීමට එල්ල වූ බාධා මෙම ප්‍රතිඵලය අත්කරදීමට හේතු වී ඇතැයි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සදහන් කරයි.

කෙසේ වෙතත් මැයි මාසයේ මැදක සිට මෙම සීමා ලිහිල් කිරීමත් සමගින්ම සිය සමූහයේ ප්‍රවාහන, පාරිභෝගික භාණ්ඩ, සිල්ලර සහ මූල්‍ය සේවා යන ව්‍යාපාර තුළ මාසයෙන් – මාසයට කාර්යසාධනය දියුණු වූ බව සභාපතිවරයා  සඳහන් කර සිටියි. මෙය සිය ව්‍යාපාර මෙහෙයුම් යථාවත්වීමේ ගාමක බලය බලාපොරොත්තු නොවූ වේගයක් පෙන්නුම් කිරීමක් බව පවසන සභාපතිවරයා, ඒ හරහා මේ වනවිට තත්ත්වය කොවිඩ්-19 ඇති වීමට පෙර පැවැති තත්ත්වය හා බොහෝ දුරට ළගා වී ඇතැයිද සඳහන් කරයි.

“අපගේ ව්‍යාපාර ක්‍රියාකාරකම් යථාවත්වීමේ ගාමක බලය බලාපොරොත්තු නොවූ වේගයක් පෙන්නුම් කිරීමත් සමගින්ම සහ සමූහය මගින් සිදු කළ මුදල් ලාභ උත්පාදනය හේතුවෙන් කොටසකට 0.50 බැගින් වූ පළමු අන්තර්කාල ලාභාංශය වන, ආසන්න වශයෙන් රුපියල් මිලියන 659ක් වන මුදල කොටස් හිමිකරුවන් වෙත ගෙවීම පෙර නිවේදනය කර ඇති 2020 අගෝස්තු 28 හෝ ඊට පෙර සිදු කිරීමේ හැකියාව අපට තිබෙනවා.” සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පවසා සිටියි.

ඒ අනුව මෙය සමූහය සම්බන්ධයෙන් වන ධනාත්මක ඉදිරි දැක්ම මනාව පෙන්නුම් කරන්නක් බවත් සභාපතිවරයා සඳහන් කර සිටියි.

ඔහු සඳහන් කරන ආකාරයට ජෝන් කීල්ස් සමූහයේ හෝටල් ක්ෂේත්‍රය ඇතුළත් %ලෙෂර්^ ව්‍යාපාරික අංශය වෙත මෙම නව කොරෝනාවේ දරුණු බලපෑම් එල්ල වී ඇත. එම සමාගමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාව සහ මාලදිවයින තුළ ගුවන් තොටුපොළ වසා දැමීම ඒ සඳහා මූලික වී ඇත.

ජූලි මැදදී මාලදිවයින සිය ගුවන් තොටුපොළ විවෘත කළද ඉදිරි සති කිහිපය තුළදී හෝටල් කාමර වෙන් කරවා ගැනීම අඩු වනු ඇතැයි සමාගම විශ්වාසය පළ කරයි. එහෙත් 2021 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළදී මෙම වෙන් කරගැනීම් සාර්ථක ලෙස ඉහළ යනු ඇති බවත්, එය පසුගිය වසරේ එම කාලයේදී තමන්ට හිමි වූ තත්ත්වය අතික්‍රමණය කිරීමක් බලාපොරොත්තු වන බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කරයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළ තවමත් යළි විවෘත කළ යුතු අවස්ථාවේ පවතින බව සඳහන් කරන සභාපතිවරයා එම කාලය තුළදී සිය හෝටල් දේශීය සංචාරණය හරහා ආරක්ෂාවීම සම්බන්ධයෙන් මේ වනවිට උනන්දු කරවමින් පවතින බවත් සඳහන් කරයි.

මේ අතර මැයි මාසයේදී ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීමත් සමගින්ම සිය සමූහයේ පාරිභෝගික ආහාර ව්‍යාපාරය බලාපොරොත්තු නොවූ වේගයකින් යළිත් යථාවත් වූ බවද, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සීහි සභාපතිවරයා පවසයි. එසේම සතියෙන් – සතිය සිය සුපිරි වෙළෙඳ සැල් ජාලයේ ව්‍යාපාරික කටයුතුද යථාවත් වන බව පෙන්නුම් කළ බවද ඔහු මෙහිදී සඳහන් කරයි.

කෙසේ වෙතත්, සිය සමූහයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක ‘සිනමන් ලයිෆ්හි’ වැඩකටයුතු මාස දෙකක කාලයක් වසා දැමීමට සිදු වුණු බවත්, මේවනවිට එය ක්‍රමයෙන් කොවිඩ්-19 පෙර පැවැති මට්ටමට ලගා වෙමින් පවතින බවත් සභාපතිවරයා පවසයි.

“අපගේ සමූහය මෙම ඉදිකිරීමේ කොන්ත්‍රාත්කරුවන් සමගින් ඉතාමත් සමීපව කටයුතු කරමින් කොවිඩ්19 නිසා මෙම ව්‍යාපෘතියේ සමස්ත කාලසීමාව වෙත එල්ල වූ බාධාවන් හැකි පමණින් සමනය කරන්න කටයුතු යොදනවා. ඒ හරහා මෙම ඉදිකිරීමේ නිවාස සහ කාර්යාලයීය ගොඩනැගිලි මෙම මූල්‍ය වර්ෂය තුළදී වැඩ අවසන් කර ඒවායේ හිමිකරුවන් වෙත භාරදීමටත් කටයුතු යොදනවා.” සභාපතිවරයා මෙහිදී පවසා සිටියි.

Visits: 403