පිට පිට දෙවැනි දිනයටත් කොටස් වෙළෙඳ පොළ පසු බසී

පසුගිය සතියේදී සහ මේ සතිය ආරම්භයේදී යම් කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළ කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අද දිනයේදී පිට පිට දෙවැනි දිනයටත් යම් පසුබැසීමක් පෙන්නුම් කෙරිණි. විශේෂයෙන්ම නව කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ලක් පිළිබඳ බියක් මතු වීමත්, ඒ හරහා රටෙහි ආර්ථිකය යළිත් පෙර පැවැති තත්ත්වයට සකස් කිරීමේ හැකියාව පිළිබඳ කනස්සල්ලත් මේ තත්ත්වය ඇති කිරීමට හේතුවී ඇතැයි කොටස් තැරැව්කාර සමාගම්වල අදහස වී ඇත.

ඒ අනුව, අද (2020 ජූලි 29) දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය (ASPI) මෙන්ම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකයද ඍණ අගයක් ගෙන තිබුණි.  

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,090.74 ත් ඒකක 5,109.43 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,094.42ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (ජූලි 28 දාට) සාපේක්ෂව එය ඒකක 5.42 ක් එනම් -0.11%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේදී හේමාස් හෝල්ඩිංග්ස්, කොමර්ෂල් බැංකුව, ඊස්ට්වෙස්ට් ප්‍රොපර්ටීස් සහ සම්පත් බැංකුව යන සමාගම් මගින් පෙර සාකච්ඡා කර එකඟතාවකට පැමිණ සිදු කළ ගනුදෙනු හතරක් සමස්ත පිරිවැටුම සඳහා 17%ක දායකත්වයක් සැපයීය.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 75ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 82 ක ගනුදෙනු පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (+3.83), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+1.72), ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී AHPL (+1.41), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (+1.28), රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී RICH (+0.86), සී ටී හෝල්ඩිංග්ස් පීඑල්සී CTHR (-6.72), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-3.46), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-1.40), කොමර්ෂල් බැංකුව පීඑල්සී COMB (-1.05) සහ ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ්  ශ්‍රී ලංකා පීඑල්සී DIST (-0.98) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,163.09 ක අගයක් ගත් අතර, එය ඊයේ (ජූලි 28ට) සාපේක්ෂව ඒකක 8.34 ක එනම් -0.38%ක පහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 830ක් ලෙස සටහන්ව තිබූ අතර එය ඊයේ වාර්තා කළ රුපියල් මිලියන 795 ට සාපේක්ෂව 4%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.40 ක අගයකට පත්ව ඇති අතර, එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 15.92%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 102.58ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 303.79ක අගයක් ගෙන තිබේ.

මේ අතර, දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 201.2 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 24.03ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය මස්කෙලිය ප්ලාන්ටේෂන් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 1.09 කි. එසේම ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර, ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 60.71ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 298 ක් සඳහා බැංකු ක්ෂේත්‍රය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 36% ක අගයක් ගෙන තිබේ. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ ද්‍රව්‍යමය නිෂ්පාදන ක්ෂේත්‍රය එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළීවෙලින් රුපියල් මිලියන 114ක සහ රුපියල් මිලියන 98ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 256