HNB වෙතින් රු.බිලියන 350කට වැඩි ණය පමා සහන

හැටන් නැෂනල් බැංකුව (HNB), COVID-19 වසංගතයෙන් දැඩි බලපෑමට ලක් වූ පුද්ගලයින් හා ව්‍යවසායකයින් සඳහා 2020 ජුනි මස අවසන් වන විට රුපියල් බිලියන 350ක වටිනාකමින් යුත් ණය පමා සහනයක් ලබා දී ඇතැයි පවසයි. එහිදී බැංකුව සමස්තයක් ලෙස, ආයතනික,සුළු හා මධ්‍ය පරිමාණ, ක්ෂුද්‍ර සහ පාරිභෝගික ආදී වශයෙන් තම සියලූම සේවාදායකයින් 65,000කට වැඩි සංඛ්‍යාවකට ණය පමා සහන ලබා දී තිබේ.

මේ අතර, රජය මගින් පාලනය කරන වැඩසටහන් සමඟ පෙළෙගැසෙමින් HNB  බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘සෞභාග්‍යා කොවිඞ්-19 පුනරුද ණය සහන’ පහසුකම ඇතුළු ණය යෝජනා ක‍්‍රම හරහා වාර්ෂිකව 4% සහන පොළී අනුපාතයකට රුපියල් බිලියන 9.5 කාරක ප‍්‍රාග්ධන ණය පහසුකම් ද සලසා දී තිබේ.

එසේම මහ බැංකුවේ සෞභාග්‍යා අරමුදලෙන් ලබා දෙන ණය මුදල ලබා ගැනීමට නොහැකි වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ආධාර හා සහාය ලබා දීම සඳහා HNB තමන්ටම අයත් රුපියල් බිලියන 5ක කොවිඩ් සහන අභ්‍යන්තර අරමුදල මගින් වසරකට 8% සහන පොළී අනුපාතයකට ණය ලබා දීම සඳහා HNB මෙම කොවිඞ් අරමුදල ද උපරිමයෙන් යොදා ගෙන ඇතැයිද පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වන HNB කළමනාකාර අධ්‍යක්‍ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී, ජොනතන් අලස් මහතා, ‘‘ශ්‍රී ලංකාව අත්‍යාවශ්‍ය ආර්ථික ක‍්‍රියාවලිය ක‍්‍රමයෙන් යථා තත්වයට පත් කිරීමට පහසුකම් සලසමින් සහ කොවිඩ්-19 පැතිරීමේ අවදානම අවම කිරීම සම්බන්ධයෙන් මේ වන විට ප‍්‍රශංසනීය ප‍්‍රගතියක් ලබා තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් මෙම පෙර නොවූ විරූ වසංගතයෙන් බලපෑමට ලක් වූ ගනුදෙනුකරුවන්ට සහාය වෙමින් HNB සිය කාර්යය ඉතා මැනවින් ඉටු කිරීමට උත්සාහ කර තිබෙනවා.’’ යනුවෙන් සඳහන් කර සිටියි.

HNB කොවිඩ් සහන වැඩසටහන යටතේ වාර්ෂික පිරිවැටුප රුපියල් බිලියනයකට අඩු ව්‍යාපාරවලට ඔවුන්ගේ හදිසි කාරක ප‍්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රුපියල් මිලියන 50ක් දක්වා ණය සඳහා අයදුම් කිරීමට අවස්ථාව ඇතැයිද බැංකුව පවසයි.

Visits: 75