ද. කොරියාවේ තෙවැනි විශාලම සමාගම LNG බලාගාර ආයෝජන සාකච්ඡාවක

දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය ඒ. සාජ්. යූ. මෙන්ඩිස් මහතා පසුගියදා එරට තෙවැනි විශාලම සමාගම් සමූහය වන SK Group හි ඉහළ කළමනාකාරීත්වය සමගින් සාකච්ඡා පැවැත්වූ බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. සෝල් අගනුවර පිහිටි එම සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇත.

මෙහිදී එම සමාගම විසින් ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට නියමිත ඍජු විදේශ ආයෝජන සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත් වූ බව සඳහන් වෙයි. මෙම අවස්ථාව සඳහා SK E&S Co. Ltd හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ජෙඔන්ග් ජූන් යූ සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්ද සහභාගි වී ඇත.

මෙහිදී මූලිකවම මෙරට තුළ ද්‍රවස්වභාවික වායු (LNG) බලාගාර ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා සාකච්ඡා කෙරී ඇතැයි තානාපති කාර්යාලය පවසයි. එම සමාගම විසින් එය ඉදිකර, හිමිකාරීත්වය ලබා ගෙන, මෙහෙයුම් සිදු කර අවසානයේදී ශ්‍රී ලංකාවට එය භාරදීම යන පදනම මත මෙම ඉදිකිරීම සිදු කිරීම සැලසුම වී ඇත. මෙහි සමස්ත වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 600කි.

මෙහිදී එම සමාගමේ තාක්ෂණික කණ්ඩායම ශ්‍රී ලංතා තානාපති මෙන්ඩිස් මහතාට දන්වා ඇති ආකාරයට මෙම ව්‍යාපෘතිය මගින් මෙරට තුළ මෙගාවොට් 930ක ධාරිතාවක් සහිත විදුලි බලාගාරයක් සඳහා අවශ්‍ය ද්‍රවස්වභාවික වායු සැපයීමේ අවස්ථාව පවතී. එසේම යෝජිත මෙම මහා පරිමාණ ව්‍යාපෘතිය හරහා අර්ධ පුහුණු සහ පුහුණු සේවකයන් 1,000 කට අධික පිරිසකට රැකියා හිමි වන බවත් පැවසෙයි.

මෙම ව්‍යාපෘතියට අමතරව SK Group සමාගම ශ්‍රී ලංකාව තුළ තොරතුරු තාක්ෂණය සහ තොරතුරු තාක්ෂණ සහ සමාගම් හා සම්බන්ධ සේවා, ඉදිකිරීම් සහ දුරකතන සන්නිවේදන යනාදී ක්ෂේත්‍ර තුළද ආයෝජනයට කැමැත්ත පළ කර තිබේ.

මෙම SK Group සමාගම දැනටමත් ශ්‍රී ලංකාවේ මයික්‍රො කාර්ස් සමාගම සමගින් ආයෝජන හවුල්කාරීත්වයකට පැමිණ තිබේ. ලෝකයේ විශාලතම විදුලි මෝටර් රථ බැටරි නිෂ්පාදකයා වන එම සමාගමේ මෙම ආයෝජනය තුළින් මයික්‍රො සමාගම  හරහා විදුලි මෝටර් රථ නිපදවීම සැලසුම වී තිබුණි.

අද වනවිට ආදායම මෙන්ම වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය අතින්ද මෙම SK Group සමාගම ලොව විශාලතම සමාගම් අතර පවතින බව සඳහන් වෙයි. 2019 වසරේදී එම සමාගම් සමූහය ලැබූ ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 220 කි. එසේම වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය එක්සත් ජනපද ඩොලර් බිලියන 280 කට ආසන්න වෙයි. මේ සියල්ලමත් සමගින් අද වනවිට එම සමාගම ලෝකයේ විශාලතම සමාගම් 25 අතරටද පත්ව තිබේ.

SK Group සමාගමේ වාර්තාවලට අනුව එය සතුව ලොව පුරා පරිපාලිත සමාගම් 95කට ආසන්න සංඛ්‍යාවක් ඇත. ඒ යටතේ ලොව පුරා සේවයේ නිරත සංඛ්‍යාව 70,000කට අධික වෙයි. රසායන ද්‍රව්‍ය, පෙට්‍රෝලියම්, බලශක්තිය, රැහැන්රහිත ජංගම සේවා, මූල්‍ය සේවා, දුරකතන සන්නිවේදන, ඉදිකිරීම්, නෞකා ප්‍රවාහනය සහ අර්ධසන්නායක  ඇතුළු තවත් ක්ෂේත්‍ර රැසකම එම සමාගම ව්‍යාප්තව ඇත.

Visits: 192