දිනය ආරම්භයේ තිබූ ආයෝජක උනන්දුව පසුව හීන වී දර්ශක ඍණ වෙයි

අද දිනයේ ආරම්භයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ යම් ධනාත්මක පිවිසීමක් පෙන්නුම් කළ ආයෝජක හැසිරීම් පසුව යම් පරීක්ෂාකාරී ස්වරූපයක් පෙන්නුම් කිරීමත් සමගින්ම දිනය නිමාවේදී කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු තුළ යම් පසුබැසීමක් පෙන්නුම් කළ බව කොටස් වෙළෙඳ පොළ තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද (2020 ජූලි 28) දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය (ASPI) මෙන්ම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකයද ඍණ අගයක් ගෙන තිබුණි. කෙසේ වෙතත් ඇතැම් සමාගම් කිහිපයක් බලාපොරොත්තු වූවාට වඩා යම් සාර්ථකත්වයක් පෙන්නුම් කිරිම එම සමාගම් පිළිබඳව ආයෝජකයන් තුළ යම් විශ්වාසයක් ඇති කිරීමටද දායකත්වයක් ලබා දුන් බවද සඳහන් වෙයි. 

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,099.42 ත් ඒකක 5,116.21 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,099.42ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (ජූලි 27 දාට) සාපේක්ෂව එය ඒකක 5.70 ක් එනම් -0.11%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේදී නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව මගින් පෙර කළ සාකච්ඡා එකඟතාවකට පැමිණ සිදු කළ ගනුදෙනු දෙකක් සමස්ත පිරිවැටුම සඳහා 7%ක දායකත්වයක් සැපයීය.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 57ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 100 ක ගනුදෙනු පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (+4.9), කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී CARG (+2.7), ෂෙව්රෝන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී LLUB (+1.8), යුනියන් බැංකුව පීඑල්සී UBC (+1.6), සම්පත් බැංකුව පීඑල්සී SAMP (+0.6), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-3.5), කලම්බු කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (-2.5), කොමර්ෂල් බැංකුව පීඑල්සී COMB (-1.7), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-1.5) සහ එල්.ඕ.එල්.සී. ෆිනෑන්ස් පීඑල්සී LOFC (-1.1) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,171.43 ක අගයක් ගත් අතර, එය ඊයේ (ජූලි 27ට) සාපේක්ෂව ඒකක 6.74 ක එනම් -0.31%ක පහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 795ක් ලෙස සටහන්ව තිබූ අතර එය ඊයේ වාර්තා කළ රුපියල් බිලියන 1.03 ට සාපේක්ෂව 18%ක පහළ වැටීමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.40 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 15.83%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 86.43ක් ලෙස සටහන් විය. එසේම  සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 269.57ක අගයක් ගෙන තිබේ.

මේ අතර, දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 183.13 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 23.82ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 1.17 කි. එසේම හැටන් නැෂනල් බැංකුව විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 92.55ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 362 ක් සඳහා බැංකු ක්ෂේත්‍රය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 45% ක අගයක් ගෙන තිබේ. එසේම ද්‍රව්‍යමය නිෂ්පාදන ක්ෂේත්‍රය සහ ප්‍රාග්ධන භාණ්ඩ එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළීවෙලින් රුපියල් මිලියන 108ක සහ රුපියල් මිලියන 82ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 228