ඩේවිඩ් පීරිස්, ඉන්ද්‍රා සිල්වා, නිමල් පෙරේරා කොමර්ෂල් බැංකුවේ මුල් කොටස් හිමිකරුවන් 20 අතරටලු

මෙරට විශාලතම පෞද්ගලික බැංකුව ලෙස සැලකෙන කොමර්ෂල් බැංකුවේ කොටස් මිලදී ගැනීමේදී ආසන්න කාලසීමාව තුළ කැපී පෙනුණු පුද්ගලයන් අතර මෙරට ඉහළ පෙළේ ආයෝජකයන් තිදෙනෙකු වන ඩේවිඩ් පීරිස්, ඉන්ද්‍රා සිල්වා සහ නිමල් පෙරේරා යන පිරිස් සිටින බව ඩේලිමිරර් පුවත්පත මගින් ඊයේ අනාවරණය කෙරිණි. ඒ අනුව මේ වසරේ අප්‍රේල් 01 වැනිදා සිට ජූලි 10 වැනිදා දක්වා කාලසීමාව තුළදී මෙම මිලදී ගැනීම් සිදු කර ඇතැයි පැවසෙයි.

නව කොරෝනා වසංගතය හේතුවෙන් පැනවුණු ලොක්ඩවුන් සීමා නිසා දින 51ක කාලයක් කොළඹ කොටස් වෙළෙඳ පොළ වසා දැමීමෙන් අනතුරුව විදේශීය ආයතනික ආයෝජකයන් මෙරට ප්‍රධාන පෙළේ සමාගම් තුළ තිබූ සිය කොටස් අලෙවි කිරීමට පටන් ගැනීමත් සමගින්ම මෙම තත්ත්වය උදාවී තිබෙන බව පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව පසුගිය මාර්තු 31 වැනිදා දක්වා කොමර්ෂල් බැංකුවේ මුල් ආයෝජකයන් 20 දෙනා අතර සිටි Ntasian Discovery Fund සහ T. Rowe New Asia Fund යන සමාගම් දෙක ජූලි 10 වැනිදා වනවිට එම ස්ථානයේ පසු නොවුණු බව සඳහන් කරමින් මෙම පුවත් වාර්තාව ඉදිරිපත් වී තිබේ.

මාර්තු 31 වැනිදා වනවිට Ntasian Discovery Fund සතුව කොමර්ෂල් බැංකුවේ කොටස් මිලියන 37ක් තිබූ අතර එය බැංකුව විසින් නිකුත් කරන ලද කොටස් අතරින් 3.85% ක ප්‍රතිශතයකි. එසේම T. Rowe New Asia Fund  සතුව කොටස් මිලියන 14.7ක් පැවති අතර එය 1.53%ක ප්‍රතිශතයකි.

කෙසේ වෙතත් පසුගිය ජූලි 10 වැනිදා වනවිට කොමර්ෂල් බැංකුවේ මුල් කොටස්හිමිකරුවන් 20 දෙනා අතරට ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපරයේ සභාපති ඩේවිඩ් පීරිස් මහතා මෙන්ම සුප්‍රසිද්ධ ආයෝජක නිමල් පෙරේරා මහතාද එක්ව තිබේ.

එහිදී ඩේවිඩ් පීරිස් මහතා කොමර්ෂල් බැංකුවේ කොටස් අතරින් මිලියන 21ක් හිමි කරගෙන ඇති අතර එය 2.14%ක ප්‍රතිශතයකි. ඒ සමගම ඔහු මුල් කොටස්හිමියන් 10 දෙනා අතරට පත්ව තිබේ. එසේම නිමල් පෙරේරා මහතා කොටස් මිලියන 6.3ක් හිමි කරගනිමින් 0.64%ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. ඔහු පසුවන්නේ 20 වැනි ස්ථානයෙහිය.

මේ අතර ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගමේ සභාපති ඉන්ද්‍රා කුමාර් සිල්වා මහතා කොමර්ෂල් බැංකුවේ තෙවැනි විශාලම කොටස් හිමිකරුවා බවට පත්වෙමින් 2020 මාර්තු 31 වැනිදා තමන් සතුව තිබූ 8.07%ක් වූ කොටස් ප්‍රතිශතය ජුලි 10 වැනිදා වනවිට 8.59%ක් දක්වා වර්ධනය කරගැනීමට සමත්ව ඇතැයිද ඩේලිමිරර් පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 1451