මහ බැංකුව ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක් ලබා ගැනීමේ සූදානමක

ඉන්දියානු සංචිත බැංකුව සමග ඇති කරගන්නා විශේෂ ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ ඉදිරියේදී එක්සත් ජනපද ඩොලර් බිලියනයක මුදල් පහසුකමක් ලබා ගැනීම සඳහා එම බැංකුව සමගින් සාකච්ඡා කෙරෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව  පවසයි.

මෙම ඩොලර් බිලියනයක මුදල දැනටමත් ඉන්දියානු සංචිත බැංකුව සමගින් ඇති කරගෙන ඇති විනිමය හුවමාරු ගිවිසුම යටතේ ලබා ගෙන ඇති එක්සත් ජනපද ඩොලර් මිලියන 400ට අමතරව බවත් මහ බැංකුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශ යටතේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියද අනුව පසුගිය ජූලි 24 වැනිදා මෙම මුදල් හුවමාරු පහසුකම සඳහා වන එකඟතාවට පිවිස තිබේ. මේ හරහා ශ්‍රී ලංකා මහ බැංකුවට ප්‍රථමයෙන් මාස තුනක කාලයක් සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක මුදලක් ලබා ගත හැකිය.

එහිදී දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ (SAARC) රටවල් වෙත 2019 – 2022 කාලය සඳහා පිරිනමනු ලබන මුදල්  හුවමාරු පහසුකම් රාමුවෙහි කොන්දේසිවලට අනුකූලව, පසුව මෙම මුදල් හුවමාරු පහසුකම වරකට තෙමස් කාලපරිච්ඡේදයක් බැගින් දෙවරක් නැවත ලබා ගත  හැකි බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

“ශ්‍රී ලංකා මහ බැංකුව මෙම මුදල් හුවමාරු පහසුකම සඳහා එළඹීමෙහි ප්‍රධාන අරමුණ වූයේ ස්ථාවර විදේශ විනිමය සංචිත තත්ත්වයක් සුරක්ෂිත කරගනිමින්, ප්‍රමාණවත් කෙටිකාලීන විදේශ විනිමය ද්‍රවශීලතාවක් පවත්වා ගැනීමයි. ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින අභියෝගාත්මක බාහිර ආර්ථික පරිසරයට ප්‍රධානම හේතුව වනුයේ කොවිඩ්-19 වසංගත තත්ත්වයයි.” මහ බැංකුව සඳහන් කරයි.

මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතාද, ඉන්දියානු සංචිත බැංකුව වෙනුවෙන් එහි කලාපීය අධ්‍යක්ෂ අජේ කුමාර් මහතාද මෙම ගිවිසුමට අත්සන් තබා තිබේ.

“මෙම පහසුකමට අමතරව, විශේෂ ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ අතිරේක වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියනයක මුදල් පහසුකමක් ලබා ගැනීම සඳහා ඉන්දියානු සංචිත බැංකුව සමග දැනට සාකච්ඡා කෙරෙමින් පවතී.” යනුවෙන්ද බැංකුව වැඩිදුරටත් මෙහිදී සඳහන් කර තිබේ.

Visits: 54