ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවෙන් බ්‍රැන්ඩික්ස් වෙත ඩො.මි. 12ක්

වසංගත තත්ත්වය හමුවේ දේශීය ව්‍යාපාරවලට මුල්‍ය සහයෝගය ලබා දීම සඳහා ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව ගෝලීයව දියත් කරන ලද ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියනයක මුල්‍යයන වැඩසටහන යටතේ මෑතකදී සහන ණයක් සම්පූර්ණ කළ සමාගම බවට බ්‍රැන්ඩික්ස් සමාගම පත් වූ බව එම බැංකුව නිවේදනය කරයි.

එම වැඩසටහන යටතේ පිරිනැමුණු ඇ.ඩො. මිලියන 12 ක අරමුදල හරහා බ්‍රැන්ඩික්ස් සමාගමේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කර්මාන්තශාලාවලට සිය නිෂ්පාදන ක්‍රියාවලිය පුද්ගල ආරක්ෂණ මෙවලම් (PPE) නිෂ්පාදනයට පරිවර්තනය කර ගැනීමට හැකි වන බව බැංකුව පවසයි. ඊට අමතරව බ්‍රැන්ඩික්ස් සමාගමේ පූර්ණ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාගැනීම සඳහාද එම සමාගමට ෆැක්ටරින් විසඳුමක් ලබා දීමටද ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව මෙහිදී කටයුතු කර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වන ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බිඟුමාල් තෙවරතන්ත්‍රී මහතා,අන් කවරදාටත් වඩා අපගේ පාරිභෝගිකයන් හට මුල්‍ය සහයෝගය අවශ්‍ය වී ඇති මේ මොහොතේ COVID-19 වසංගතයේ බලපෑම පරාජය කිරීම සඳහා දායක වීමට ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව ගෝලීය වශයෙන් කැප වී සිටිනවා. ගෝලීය වශයෙන් දියත් කෙරෙන වසංගතයට එරෙහි සටනට දායකත්වය ලබා දෙන අතරම මෙම අභියෝගාත්මක කාලය තුළ ව්‍යාපාරවලට අවශ්‍ය සහයෝගය ලබා දීමට ද අප කැප වනවා. බ්‍රැන්ඩික්ස් සමාගමට අප ලබා දුන් මුල්‍යයන සහයෝගය එම ප්‍රයත්නයේ තවත් එක් පියවරක්. යනුවෙන් සඳහන් කරයි.

බ්‍රැන්ඩික්ස් සමාගමේ ගෝලීය භාණ්ඩාගාර ප්‍රධානී ප්‍රියංක පෙරේරා මහතා අදහස් දක්වමින්, අපගේ වෙළඳපොළ තුළ ක්‍රමයෙන් ඉල්ලුම වර්ධනය වෙමින් පවතින මොහොතක බ්‍රැන්ඩික්ස් සමාගම සිය වටිනාකම්වලට ඔබින විසඳුම් අඛණ්ඩව ලබා දීමට කටයුතු කළා. ඒ අනුව, COVID-19 වසංගතයට එරෙහි සටන සඳහා පුද්ගල ආරක්ෂණ මෙවලම්වල අවශ්‍යතාව හඳුනා ගනිමින් අප අපගේ ධාරිතාව, සම්පත් සහ විශේෂඥ දැනුම එම නිෂ්පාදන නිෂ්පාදනය කිරීම සඳහා යෙදවීමට තීරණය කළා. ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව අප වෙත ලබා දුන් මෙම කාලෝචිත සහයෝගය හේතුවෙන් අපට බාධාවකින් තොරව නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යාමට අවශ්‍ය මුල්‍යමය ශක්තිය හිමි වුණා. යනුවෙන් පවසා සිටියි. 

වසංගත තත්ත්වයට එරෙහි සටනට දායකත්වය ලබා දෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන සමාගම්වලට ලාභ අපේක්ෂාවෙන් තොරව මුල්‍ය සහයෝගය ලබා දීම සඳහා ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව ගෝලීයව මුල්‍යයන වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර එම වැඩසටහන යටතේ සහයෝගය හිමි වූ මෙරට දෙවන ඇඟලුම් සමාගම වන්නේ බ්‍රැන්ඩික්ස් සමාගමයි. ශ්‍රී ලංකාවට අමතරව මෙම මුල්‍යයන වැඩසටහන යටතේ හොංකොංඋගන්ඩාව,බහරේන්, වියට්නාමය සහ මැලේසියාව යන රටවලට ද මුල්‍යයන සහයෝගය හිමි වී ඇත.

බ්‍රැන්ඩික්ස් සමාගමට ලබා දුන් මෙම මුල්‍යයන පහසුකම පිළිබඳ අදහස් පළ කරමින් මෙරට ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ වාණිජ බැංකුකරණ අංශයේ ප්‍රධානී ටමානි ඩයස් මහත්මිය, මෙතරම් දැවැන්ත ආපදා තත්ත්වයකින් අනතුරුව ව්‍යාපාරවලට හිස එසවීමට නම් අරමුදල්වලට ඇති ප්‍රවේශය ප්‍රධාන වශයෙන් බලපාන බව සඳහන් කරයි. “ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ දිගුකාලීන සහ නව හවුල්කරුවන් හට සහයෝගය ලබා දෙමින් වසංගත තත්ත්වයට එරෙහි සටන සඳහා දායකත්වය ලබා දීම අපගේ අරමුණයි. ගෝලීය මුල්‍යයන වැඩසටහන යටතේ මුල්‍යයන පහසුකම් පිරිනැමූ දකුණු ආසියාවේ ප්‍රථමයා අප වන අතර බ්‍රැන්ඩික්ස් සමාගමට සිය මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා සහයෝගය ලබා දීමට හැකි වීම පිළිබඳ අප සතුටු වෙනවා.” යනුවෙන් ඇය පවසයි.

බ්‍රැන්ඩික්ස් සමාගමේ ඇඟලුම් කර්මාන්තශාලා ශ්‍රී ලංකාවඉන්දියාවබංග්ලාදේශයහයිටි සහ කාම්බෝජය යන රටවල ක්‍රියාත්මක වේ.

Visits: 67