සංචාරක ක්ෂේත්‍රයේ SME ව්‍යවසායකයන්ට රු.2,200 කට තාවකාලික බලපත්‍ර

සංචාරක අංශයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හට අනාගතයේ දී සංචාරකයින්ට සත්කාර කිරීමට COVID-19සෞඛ්‍ය සහතිකය ලබා ගැනීමට හැකි වන පරිදි තාවකාලික බලපත්‍ර ලබා දීමට තීරණය කර ඇතැයි  සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

සංචාරක කර්මාන්තයෙන්60% කට වඩා වැඩි ප්‍රමාණයක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වන අතර50,000 කට අධික සංඛ්‍යාවක් මෙයට අයත් වෙයි. ඔවුන් රටට රැකියා හා විදේශ විනිමය මෙන්ම නරඹන්නාට විවිධ අත්දැකීම් ලබා දීමෙන් ආර්ථිකයට දායක වන බව අධිකාරිය සඳහන් කරයි.

“ඔවුන් ප්‍රධාන ආදායම උපයන්නේ Airbnb, Booking.com, Agoda වැනි අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක සංචාරක නියෝජිතයන්ගෙන් වන අතර, බොහෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මේ හේතුවෙන් අධිකාරිය සමග ලියාපදිංචි නොවූ කාණ්ඩයට අයත් වේ. ඒත් සමගම ලියාපදිංචි වීමට ඇති බොහෝ බාධක හේතුවෙන් මෙම සේවා සපයන්නන්ගෙන් බොහෝ දෙනෙකුට රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද සහන පැකේජයෙන් කිසිදු ප්‍රතිලාභයක් ලබා ගැනීමට නොහැකි විය.” අධිකාරිය පවසයි.

මෙම පරතරය සැලකිල්ලට ගනිමින් අධිකාරිය විසින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අනාගතයේදී සංචාරකයින්ට සත්කාර කිරීමට හැකි වන පරිදි COVID-19 සෞඛ්‍ය සහතිකය ලබා ගැනීමට අවස්ථාව ලබා දීම සඳහා තාවකාලික බලපත්‍ර ක්‍රමයක් නිර්මාණය කර තිබේ. 

අතීතයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බොහෝ දෙනෙකුට අධිකාරියේ දැඩි ලේඛන අවශ්‍යතා නිසා ලියාපදිංචි වීමට නොහැකි වු අතර ඔවුන්ට දැන් සීමිත ලියකියවිලි, ඡායාරූප සහ රු. 2200/- ක් වූ ලියාපදිංචි ගාස්තුව සමඟ අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන් තාවකාලික බලපත්‍රයක් ලබා ගත හැකි බව අධිකාරිය පවසයි.

එසේම පොදුවේ ගුණාත්මකභාවය ආරක්ෂා කරමින් සමහර ලියාපදිංචි මාර්ගෝපදේශ ලිහිල් කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය දැනටමත් ක්‍රියාවලියක් සංවර්ධනය කරමින් සිටින බවත් පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය, “සංචාරක ක්ෂේත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය ශක්තිමත් කිරීම සඳහා සහාය දැක්වීමකින් තොරව අපට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නියම කර ඇති ඉලක්කය කරා ළඟා විය නොහැකියි. COVID-19 වසංගතය පැතිරීම සමග සංචාරක කර්මාන්තයට උපකාර කිරීම සඳහා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක සේවා සපයන්නන්ට සහන මාලාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. අවාසනාවකට මෙන්, ශ්‍රී ලංකාවේ සංචාරක සේවා සපයන්නන්ගෙන් 60% ක් අධිකාරියේ ලියාපදිංචි වී නොමැති අවිධිමත් අංශයට අයත් බැවින් බොහෝ දෙනෙකුට මෙම සහන ලබා ගැනීමට නොහැකි වී ඇති අතර මෙය අධිකාරියේ අවධානයට යොමු වී තිබෙනවා.” යනුවෙන් පැවසීය.

මෙහිදී අදහස් දක්වන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජයසිංහ මහත්මිය, “සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය සමඟ සාකච්ඡා මාලාවකින් පසුව මෙම වසංගතය තුළ හා අනාගත ඕනෑම අර්බුදයකදී ඔවුන්ට සහාය වීම සඳහා අධිකාරිය සමඟ ලියාපදිංචි වීමට අප දිරිගන්වනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට උපකාර කිරීම සඳහා අපගේ ලියාපදිංචි කිරීමේ නිර්ණායක ලිහිල් කිරීමට අපි තීරණය කළේ ඒ නිසයි. මෙමගින් ඔවුන්ට මාස 6 ක කාලයක් සඳහා තාවකාලික බලපත්‍රයක් ලබා ගත හැකි අතර පසුව ඔවුන්ට අප සමඟ ස්ථිර ලෙස ලියාපදිංචි විය හැකිය.” යනුවෙන් පවසයි.

මේ අතර, අන්තර්ජාලය හරහා ඉදිරිපත්වන ඇනවුම් සදහා සේවා සපයන සංචාරක නියෝජිතයින් විසින් සංචාරක සංවර්ධන බද්ද (TDL) නිසි ලෙස ගෙවීම හෝ නොකිරීම පිළිබඳව බලධාරීන් අධ්‍යයනය කරමින් සිටින බවත්, මේ වන විට බොහෝ විදේශීය සංචාරක නියෝජිතයින් සංචාරක සංවර්ධන බද්ද නොගෙවන නමුත් දේශීය සංචාරක නියෝජිතයින් ඔවුන්ගේ ශුද්ධ ආදායම මත එම බද්ද ගෙවන බවත් සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. එසේම වර්තමානයේදී, සංචාරක සංවර්ධන බදු වලින් 80% ක් නවාතැන් අංශයෙන් ලැබෙන බවත් පැවසෙයි.

Visits: 70