කොරෝනා නිසා ‘බිග්බෑඩ් වුල්ෆ්’ ඔන්ලයින් වෙයි

මෙරටදී සිව්වැනි වතාවටත් සංවිධානය කිරීමට නියමිතව තිබූ ලොව විශාලතම පොත් ප්‍රදර්ශනය ලෙස සැලකෙන ‘බිග් බෑඩ් වුල්ෆ්’ පොත් ප්‍රදර්ශනය සුපුරුදු ආකාරයෙන් නොපැවැත්වෙන බව එහි සංවිධායකයන් නිවේදනය කර සිටියි. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමගම ඇතිව තිබෙන තත්ත්වය ඊට හේතුවී තිබේ.

ඒ වෙනුවට මෙවර පොත් ප්‍රදර්ශනය අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක්‍රමයට සංවිධානය වී තිබේ. ඒ අනුව ලබන ඔක්තෝබර් 1 වැනිදා සිට 4 වැනිදා දක්වා www.bigbadwolfbooks.lk වෙබ් අඩවියට පිවිස පැය 24 පුරාම පොත් මිලදී ගැනීමේ අවස්ථාව බිග්බෑඩ්වුල්ෆ් පාරිභෝගිකයන්ට හිමි වෙයි.

මෙම අන්තර්ජාල මිලදී ගැනීම සඳහා පොත් 30,000කට අධික නාමාවලියක් වෙබ් අඩවියට එකතු කර ඇතැයි එහි සංවිධායකයන් පවසයි. එහිදී 50% සිට 90% දක්වා වූ වට්ටම් මුදලකට මෙම පොත් මිලදී ගැනීමේ හැකියාව ඇත. මෙම පොත් සංඛ්‍යාව මීට පෙර ප්‍රදර්ශනය පැවැති කොළඹ SLECC ශාලාව 5 ගුණයකින් පිරවීමට සමත් බවද ඔවුන් පවසයි.

එසේම අන්තර්ජාල හරහා ඇනවුම් කෙරෙන පොත් අවම ගාස්තුවක් යටතේ නිවෙසටම ගෙනැවිත් භාරදීමේ සේවාවක්ද මෙවර ක්‍රියාත්මක වන බව බිග්බෑඩ්වුල්ෆ් පොත් ප්‍රදර්ශනයේ සංවිධායකයන් පවසයි. එහිදී පාරිභෝගිකයා ලංකාවේ කොතැනක සිටියත් එම සේවාව ක්‍රියාත්මක බව පැවසෙයි.

2017 වසරේ සිට නොකඩවා වසර තුනක් කොළඹ SLECC හිදී පැවැත්වුණු මෙම ‘බිග්බෑඩ්වුල්ෆ්’ පොත් ප්‍රදර්ශනය සඳහා මෙරට පොත් ලෝලීන් ලක්ෂ ගණනකගේ සහභාගිත්වයක්  හිමිවිය. පසුගිය වසරේදී ඔක්තෝබර් 18 වැනිදා සිට 27 වැනිදා දක්වා සතියකට වඩා වැඩි කාලයක් එය සංවිධානය විය. සාමාන්‍යයෙන් දිනයේ පැය 24 පුරාම ප්‍රදර්ශනය සංවිධානය වීම මෙහි සම්ප්‍රදාය වුවත්, පසුගිය වසරේ එල්ල වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව නිසා ඇති වූ ආරක්ෂක හේතූන් මත එය පැය 24 පුරා විවෘතව තැබුණේ. සති අන්තයේ දිනවලදී පමණකි.

Visits: 68