විනිමය හුවමාරුව සහ මහ මැතිවරණය ළංවීමත් සමග ආයෝජක විශ්වාසය ඉහළට

ශ්‍රී ලංකා රජය ඉන්දීය සංචිත බැංකුවත් සමගින් පසුගියදා ඇති කරගත් එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරු පහසුකමට අදාළ එකඟතාවත්, ඉදිරියේදී පිහිටුවෙන ස්ථාවර රජයක බලාපොරොත්තුව රැගත් මහ මැතිවරණයේ දිනය ළංවීමත් යනාදී කාරණා ප්‍රධාන කර ගනිමින් මෙන්ම රට තුළ නව කොරෝනා ව්‍යාප්තිය යම් තරමකට මර්දනය වී පාසල් විවෘත වීම ඇතුළු රට යළිත් යථා තත්ත්වයට පත්වීමේ ලකුණු පෙන්නුම් කිරිමත් යනාදිය හේතුවෙන් කොළඹ කොටස් වෙළඳ පොළ තුළ ආයෝජනය පිළිබඳ වන ආයෝජක විශ්වාසය සතිය ආරම්භයේදී ඉහළ යාමක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද (2020 ජූලි 27) දිනයේදීද කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය (ASPI) මෙන්ම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකයද ධන අගයක් ගෙන තිබුණි. එසේම වෙනදාට වඩා එකිනෙකට වෙනස් සමාගම් රැසක්ම දෛනික ගනුදෙනු සඳහා දායකත්වය ලබා දී තිබීමත් ඉහත සඳහන් කළ හේතූන් යළිත් මතුකර පෙන්වන අවස්ථාවක් බවට පත්විය.

ඒ අතරින් සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,078.70 ත් ඒකක 5,112.48 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,105.12ක් බවට පත්විය. ඒ අනුව පසුගිය සිකුරාදා (ජූලි 24 දාට) සාපේක්ෂව එය ඒකක 39.82 ක් එනම් +0.79%ක ඉහළ යාමකි.

මෙහිදී සම්පත් බැංකුව මගින් පෙර කළ සාකච්ඡා එකඟතාවකට පැමිණ සිදු කළ ගනුදෙනුවක් සමස්ත පිරිවැටුම සඳහා 02%ක දායකත්වයක් සැපයීය.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 137ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 41 ක ගනුදෙනු පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ සී.ටී. හෝල්ඩිංග්ස් පීඑල්සී CTHR (+5.14), කලම්බු කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (+2.46), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+2.23), සම්පත් බැංකුව පීඑල්සී SAMP (+2.03), කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී CARG (+1.64), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී BIL (-3.05), හේකාර්බ් පීඑල්සී HAYC (-0.76), හේලීස් පීඑල්සී HAYL (-0.65), සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී SHL (-0.51) සහ ලංකා අයිඕසී පීඑල්සී LIOC (-0.45) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,178.17 ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදාට සාපේක්ෂව ඒකක 16.28 ක එනම් 0.75%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.03 ක් ලෙස සටහන්ව තිබූ අතර එය පසුගිය සිකුරාදා දිනයේදී වාර්තා කළ රුපියල් මිලියන 871.89 ට සාපේක්ෂව 18%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.40 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 15.74%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 82.01ක් ලෙස සටහන් විය. ඒ අනුව සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 171.17ක අගයක් ගෙන තිබේ.

එසේම දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 89.16 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 23.64ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 17.67 කි. එසේම කොමර්ෂල් බැංකුව විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 24.20ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 262 ක් සඳහා බැංකු ක්ෂේත්‍රය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 26% ක අගයක් ගෙන තිබේ. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ ද්‍රව්‍යමය නිෂ්පාදන ක්ෂේත්‍රය එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළීවෙලින් රුපියල් මිලියන 184 ක සහ රුපියල් මිලියන 171ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 368