ඇසළ පෙරහැර වෙනුවෙන් සමරු මුද්දර තුනක් නිකුත් වෙයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය 2020 වෙනුවෙන් නව සමරු මුද්දර තුනක් නිකුත් කිරීමට ශ්‍රී දළදා මාලිගාව සහ තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය ඊයේ (2020 ජූලි 25) දිනයේදී කටයුතු යෙදීය. මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී මෙම එළිදැක්වීම සිදු විය.

මෙහිදී පළමු මුද්දර ප්‍රදානය කිරීම දළදා මාළිගයේ භාරකාර අස්ගිරි පාර්ශ්වයේ ශ්‍රීමත් අනුනායක අතිපූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමිපාණන් වහන්සේ සහ මල්වතු පාර්ශ්වයේ තේවාවිහාර තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර  හිමිපාණන් වහන්සේ වෙත මෙන්ම ශ්‍රී ලංකා දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතා වෙතද සිදු විය.

එහිදී රුපියල් 10, රුපියල් 15 සහ රුපියල් 45 යන වටිනාකමිවලින් යුත් මුද්දර නිකුත් කෙරී ඇත. ඉන් පළමු මුද්දරයේ දියවඩන නිලමේ තුමාද, දෙවැනි මුද්දරයේ දළදා කරඩුව රැගත් මංගල හස්තිරාජයා මහවාහල්කඩින් පිටතට පැමිණෙන ආකාරයද, තෙවැනි මුද්දරයේ කරඩුව රැගත් මංගල හස්තිරාජයා දෑලේ ඇතුන් දෙදෙනාද සමගින් පෙරහැරේ ගමන් කරන ආකාරයද නිරූපණය කෙරී ඇත.

ඒ අනුව සමරු මුද්දර තුනක්, මුල් දින කවරයක් සහ සිහිවටන පත්‍රිකා මුල්දින කවරය ලෙස නවතම අංගයක්ද මෙම අවස්ථාවේදී නිකුත් කෙරුණු බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය සඳහන් කර සිටියි. එහිදී සිහිවටන පත්‍රිකාව මුල්දින කවරයේ ඇලවීමක් සිදු කර ඇත.

මෙම අවස්ථාව සඳහා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, තැපැල්පති රංජිත් ආරියරත්න, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත රණසිංහ, මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ ශාන්ත කුමාර මීගම, මුද්දර නිර්මාණය කළ නිහාල් සඟබෝ ඩයස් යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Visits: 67