කොළඹ සහ කෝට්ටේ නගර අලංකරණ ව්‍යාපෘතියට අනුමැතිය

කොළඹ නගරය සහ ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ නගරය අලංකරණය කිරීම සහ භූ දර්ශන සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව ඊට අදාළ ප්‍රතිපාදන නාගරික සංවර්ධන අධිකාරිය වෙත ලබා දීම සඳහා වන යෝජනාවක් අනුමත කිරීමට කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණය කර තිබේ.

නාගරික සංවරධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

මෙහිදී ප්‍රදේශයට ආවේණික හරිත පරිසරය වැඩි දියුණු කිරීම සහ සංචාරකයන්ට හා දේශීය පොදු ජනතාවට පාරිසරික හා සමාජීය වශයෙන් යටිතල පහසුකම් සැපයීම අරමුණු කරගෙන කොළඹ සහ කෝට්ටේ මහනගර සභා තුළ පිහිටි නගර දෙක මෙලෙස අලංකරණය කිරීමට සහ භූ දර්ශන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇත.

එහිදී ගාලු මුවදොර අවට හරිත යටිතල පහසුකම් ජාල සැලැස්ම, කොළඹ 01 බාලදක්ෂ මාවතේ පිහිටි පදික පහසුකම් මධ්‍යස්ථානය සහ තලපත්පිටිය, කිඹුලාවල නාගරික කෘෂි උද්‍යානය යනාදී ව්‍යාපෘති ඊට අයත්ව පවතී.

පසුගිය රජය යටතේ පැවැති මෙගාපොලිස් සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ සැලසුම් කළ කොළඹ වාණිජ නගරය සහ අගනගරය සංවර්ධන සැලසුම් 2019-2030 යටතේ මෙම ව්‍යාපෘතීන් පිළිබඳ මූලික සැලසුම ඉදිරිපත් කර තිබේ.

Visits: 86