මූල්‍ය බුද්ධි ඒකකයෙන් බැංකු 2ක් ඇතුළු මූල්‍ය ආයතන 5කට දඩුවම්

රටෙහි මූල්‍ය විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කළ මූල්‍ය ආයතන පහකට දඩුවම් පැමිණ වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය පවසයි. 2020 ජූලි 01 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල රැස්වීමේදී ගත් තීරණයකට අනුව මෙම දඩුවම් පැමිණ වී තිබේ.

මෙහිදී ලංකා බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පීඑල්සී, කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී, සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ලිමිටඩ් සහ යූ.බී. ෆිනෑන්ස් ලිමිටඩ් යන සමාගම් වෙත මෙම දඩුවම් පැමිණ වී තිබේ. 2019/2020 වසර සඳහා ක්‍රියාත්මක වන ලෙස දඩ පැමිණ වී ඇත. ඒ අනුව 2019 වසර සඳහා රුපියල් මිලියන 5ක සහ 2020 සඳහා රුපියල් මිලියනයක් ලෙස මෙම සමස්ත දඩ මුදල් පැනවී තිබේ.

“ප්‍රධාන වශයෙන් තෙවක පාර්ශ්ව තැන්පතු, දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් සඳහා අනුමැතිය ලබා ගැනීම, සම්බාධකවලට අදාළ පිරික්සුම් කිරීම සම්බන්ධයෙන් 2016 අංක 1 දරන මූල්‍ය ආයතන රීති සහ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 6 වන වගන්තිය යටතේ මුදල් ගනුදෙනු වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වන නීති උල්ලංඝණය කිරීම සඳහා මෙම දණ්ඩන පනවන ලදී.” මහ බැංකුව සඳහන් කරයි.

මුල්‍ය විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් මෙරට අනුකූලතා මට්ටම වැඩිදියුණු කිරීම මෙලෙස අදාළ මූල්‍ය ආයතන වෙත දණ්ඩන පැනවීමට හේතුව බව මහ බැංකුව පෙන්වා දෙයි.

2006 අංක 6 දරන මුදල් ගෙනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (2) සහ 19 (1) වගන්තිය මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවල අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පැනවිය හැකි බව මහ බැංකුව පවසයි.

එහිදී මූල්‍ය ආයතන හෝ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර විසින් සිදු කරන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හෝ බැරෑරුමකම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකි බවත් මහ බැංකුව වැඩිදුටත් අවධාරණය කරයි.

Visits: 390