සෞභාග්‍යා කොවිඩ්-19 ණය හරහා දින 10කදී රු.මි. 11,829ක ණය

නව කොරෝනා වෛරසයෙන් හානියට පත් ස්වයං රැකියා සහ තනි පුද්ගල ව්‍යාපාර යළි ගොඩනැගීමේ අරමුණින් මහ බැංකුවේ මූලිකත්වයෙන් බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රියාත්මක කරන ‘සෞභාග්‍යා – කොවිඩ්-19’ පුනරුද ණය සහනය යටතේ පසුගිය ජූලි 13 වැනිදා සිට 23 වැනිදා දක්වා දින 10 තුළදී ණය  ඉල්ලුම්කරුවන් 3,985ක් සඳහා රුපියල් මිලියන 11,829ක් අනුමත වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙම ණය පහසුකමේ අදියර II සහ අදියර III යටතේ බලපත්‍ර ලාභී බැංකු විසින් එවන ලද ණය අයදුම්පත් සඳහා මෙලෙස ණය ලබා දීම වෙනුවෙන්  මහ බැංකුව අනුමැතිය ලබා දී තිබේ.

“කොවිඩ්19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ස්වයං රැකියා හා තනි පුද්ගල ව්‍යාපාරද ඇතුළුව සියලු ව්‍යාපාර සඳහා, වාර්ෂිකව 4%ක පොලී අනුපාතයක් යටතේ මාස හයක සහන කාලයක්ද ඇතුළත්ව මාස 24ක් දක්වා ණය ආපසු ගෙවීමේ කාලසීමාවක් සහිතව කාරක ප්‍රාග්ධන ණය ලෙස රුපියල් බිලියන 150ක් සැපයීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, රජය හා එක්ව මෙම පහසුකම අදියර තුනක් යටතේ හඳුන්වාදී ඇත.” මහ බැංකුව පවසයි.

ඒ අනුව 2020 ජුලි 23 දිනය වන විට මෙම ‘සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද ණය සහන’ පහසුකම යටතේ මහ බැංකුව විසින් අනුමත කර ඇති මුලුණය අයදුම්පත් සංඛ්‍යාව 26,291 දක්වා ඉහළ ගොස් ඇත. එසේම එම දිනය වනවිට අනුමත කර ඇති මුළු ණය ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 72,079ක් බවට පත්ව තිබේ.

මෙහිදී 2020 ජූලි 23 දා වනවිට බලපත්‍ර ලාභී වාණිජ බැංකු විසින් දිවයින පුරා විසිරී සිටින  ප්‍රතිලාභීන් 18,007ක් අතරේ රුපියල් මිලියන 45,777ක් මුදා හැර ඇතැයිද මහ බැංකුව සඳහන් කරයි.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයන්ට ඉහළ ණය යෝජනා ක්‍රමය යටතේ තම ණය අයදුම්පත් 2020 අගෝස්තු මස 31 දිනට පෙර අදාළ බැංකු වෙත භාරදිය හැකි බවත් මහ බැංකුව පවසයි.

Visits: 89