විදේශ ඇමති, බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර වෙළෙඳ ඇමති රනිල් ජයවර්ධන හා සාකච්ඡාවක

මෙරට විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයා ලෙස මෑතකදී තේරී පත් වූ ශ්‍රී ලාකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධන මහතා සමගින් දුරකතනය හා සාකච්ඡාවක් පැවැත් වූ බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජන තවදුරටත් පුළුල් කරමින් දෙරට අතර සහයෝගිතාව වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව සිදු වුණු බව එම අමාත්‍යාංශය පවසයි. මෙම අමාත්‍යවරුන් දෙදෙනා අතර මෙවැනි සාකච්ඡාවක් පැවැත් වූ පළමු අවස්ථාවද මෙයයි.

දෙරට අතර වෙළෙඳාම ඉහළ නැංවීම, ආරක්ෂාව, විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයන්හි පර්යේෂණ සහ පුහුණු කිරීම් ඇති කරමින් ද්විපාර්ශ්වික සබඳතා දිගුකාලීව පවත්වාගෙන යාම සඳහා මෙහිදී සාකච්ඡා කෙරුණු බව අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙහිදී විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතයේ බලපෑම හේතුවෙන් දෙරට අතර වෙළෙඳාමට සහ ආයෝජනයන් වෙත එල්ල වී ඇති අභියෝගවලට මුහුණ දීම සඳහා අවශ්‍ය සමීප සහයෝගිතාව ලබා දීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරුන් අතර සාකච්ඡා කෙරී ඇත.

එහිදී  සැපයුම් දාම ක්‍රියාත්මක වීම, සංචරණ සහ සංචාරක ක්ෂේත්‍රය යළි විවෘත කිරීම සහ ආර්ථක කාරණාවල වැදගත්කම පිළිබඳව අවධාරණය කෙරී ඇත. එසේම ශ්‍රී ලංකාවෙන් බ්‍රිතාන්‍යය වෙළෙඳ පොළ අපනයනය කළ හැකි නව නිෂ්පාදන පිළිබඳවද සාකච්ඡා කෙරුණු බව අමාත්‍යාංශය පවසයි.

මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලීය සංවිධානයේ සාමාජික රාජ්‍යයක් ලෙස එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාවත් අතර පවතින වටිනාකම් සහ අවශ්‍යතාවන් හුවමාරු කරගැනීමටත්, එම සංවිධානයේ ක්‍රියාකාරකම් වෙනුවෙන් තවදුරටත් දායකත්වය ලබාදීමට අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා මෙහිදී කරුණු ස්ථිර කර තිබේ.

එසේම ලබන මහ මැතිවරණයෙන් පසුව ඉඩ ලද මොහොතේම ශ්‍රී ලංකාවේ සංචාරකය නිරත වන ලෙසද දිනේශ ගුණවර්ධන අමාත්‍යවරයා රනිල් ජයවර්ධන අමාත්‍යවරයා වෙත ආරාධනා කළ බවද විදේශ සබඳතා පිළිබඳ අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

Visits: 52